ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය හා ශ්‍රී ලංකාව අතර පැවැති හතරවන වගන්තිය යටතේ 2018 වසර සඳහා වූ සාකච්ඡා නිමා කොට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ ව ද සාකච්ඡා කරයි

සාමාජික රටක සංචාරය (දූත මෙහෙය) අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් බොහෝ විට නිකුත් කරනු ලබන සමාප්ති ප්‍රකාශනය මගින් එම නිලධාරීන්ගේ මූලික නිරීක්ෂණ විස්තර කෙරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පත් භාවිතා කිරීමට (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට) ඉල්ලීමක් කර ඇති විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා පනතේ හතරවන වගන්තිය යටතේ නිතිපතා (සාමාන්‍යයෙන් වාර්ෂික ව) සිදු කරනු ලබන උපදේශනවල කොටසක්, නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු ලබන වැඩසටහන්වලට අදාළ සාකච්ඡාවල කොටසක් හෝ ආර්ථික ප්‍රවණතා අධීක්ෂණය කරනු ලබන වෙනත් වැඩසටහන්වල කොටසක් ලෙස දූත මෙහෙයන් ක්‍රියාත්මක කෙරේ.  

මෙම ප්‍රකාශනය නිකුත් කිරීම සඳහා බලධාරීන්ගේ අනුමැතිය හිමිවී ඇත. මෙම ප්‍රකාශයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර, එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු කිරීම අත්‍යවශ්‍ය නො වේ. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගනිමින්, කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙල කෙරෙන අතර, එය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙනු ඇත.

හතරවන වගන්තිය යටතේ වන උපදේශනය පිළිබඳ ව 2018 වසර සඳහා සාකච්ඡා පැවැත්වීමට සහ තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම යටතේ වන ශ්‍රී ලංකා බලධාරීන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හතරවන සමාලෝචනයේ තාක්ෂණික කාර්යයන් ඉදිරියට කරගෙන යෑම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මිය‍ගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායමක් පෙබරවාරි 27 සිට මාර්තු 9 කාලය තුළ දී කොළඹ සංචාරය කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම හතරවන වගන්තිය යටතේ වන උපදේශනය පිළිබඳ ව 2018 වසර සඳහා ශ්‍රී ලාංකීක බලධාරීන් සමඟ සාධනීය සාකච්ඡාවල නිරත වූ අතර, විස්තීර්ණ ණය පහසුකමේ සිව්වන සමාලෝචනය පිළිබඳ ව නිලධාරි මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් ද එහි දී ප්‍රගතියක් අත් කර ගත්තේ ය. අප්‍රේල් මාසයේ දී වොෂිංටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත සෘතුවේ රැස්වීම්වලට සමගාමී ව මෙම වැඩසටහන පිළිබඳ ව තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇත.  

ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අඛණ්ඩ ව සිදු වේ

2017 වසරේ කාලගුණික හේතු නිසා ඇති වූ කම්පන ගණනාවකින් අනතුරු ව ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතී. කෘෂිකාර්මික සහ කර්මාන්ත අංශ යථා  තත්ත්වයට පත්වීම සහ සේවා අංශයේ හිතකර වර්ධනය හේතු කොට ගෙන 2018 වසරේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4.4ක් දක්වා ඉහළ යනු ඇතැ යි පුරෝකථනය කෙරෙන අතර, එය මැදි කාලයේ දී සියයට 5ක් දක්වා ළඟා වෙතැ යි අපේක්ෂා කෙරේ.  ආහාර මිල ගණන් ස්ථායි වීමත් සමඟ 2018 වසර අවසානය වන විට උද්ධමනය සියයට 5ක් දක්වා අඩු වේ යැ යි ද  පුරෝකථනය කෙරේ.

ප්‍රතිසංස්කරණවල ප්‍රගතියක් පෙන්නුම් කළ ද අවදානම් තත්ත්වයන් තවමත් පවතී

කාලගුණය ආශ්‍රිත කම්පන තත්ත්ව සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ යම් ප්‍රමාදයක් හමුවේ වුව ද, වැඩසටහනේ කාර්යසාධනය නියමිත ලෙස සිදු වෙමින් පවතී.  නව දේශීය ආදායම් පනත සහ උද්ධමන ඉලක්කකරණය සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙර දැක්ම තීරණාත්මක ප්‍රතිසංස්කරණ වන අතර, ඒවා සාර්ථක ව ක්‍රියාත්මක කිරීම ඉදිරි ප්‍රගතිය සඳහා ඉතා වැදගත් වේ. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ප්‍රගතියක් පෙන්නුම් කරන අතර, මූලික දත්ත සලකා බැලීමේ දී ප්‍රාථමික ශේෂය 2017 වසර සඳහා අතිරික්තයක් පෙන්නුම් කරයි. මෑත කාලීන පීඩන හමුවේ වුව ද, ශ්‍රී ලංකා මහ බැංකුව, සංචිත රැස් කිරීමේ වේගය ඉහළ නංවන අතරතුර, ණය වර්ධනය අඩු කිරීමට සහ උද්ධමනය ස්ථායි කිරීමට සමත් වී ඇත.

කෙ සේ වුවත්, රාජ්‍ය ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීම සහ බාහිර ආරක්ෂණ (External Buffers) අඩු මට්ටමක පැවතීම හේතුවෙන් තවදුරටත් ආර්ථිකය අහිතකර කම්පනවල අවදානමට ලක් වෙමින් පවතී. ඉදිරි දැක්ම පිළිබඳ ව සැලකීමේ දී, ඉතා අපහසුවෙන් අත්කර ගන්නා ලද මෙම වාසි සහගත තත්ත්වය සහ සාර්ව සහභාගීත්වයක් සහිත තිරසාර වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පවත්වාගෙන යා යුතු අතර, ප්‍රතිපත්ති රාමු සහ ආයතන වඩාත් ශක්තිමත් කළ යුතු වේ.

ස්ථායිතාව සහ සර්ව සහභාගීත්වයක් සහිත වර්ධනයක් ඇති කර ගැනීම සඳහා ආයතන ශක්තිමත් කිරීම

මෙම පසුබිම හමුවේ, ව්‍යූහාත්මක, සාර්ව ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ තුළින් ශ්‍රී ලංකාවට කඩිනම් සහ සර්ව සහභාගීත්වයක් සහිත වර්ධනයක් අත් කර ගැනීම සඳහා සහාය වීමට ‘2025 දැක්ම’ උපායමාර්ගය ඉදිරියට ගෙන යෑමට බලධාරීන් කටයුතු කළ යුතු ව ඇත.  මෙහි ප්‍රමුඛතා ලෙස: (අ) ආදායම් එක්රැස් කිරීම මගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව වඩාත් ශක්තිමත් කිරීම, රාජ්‍ය මූල්‍ය නීති (Fiscal Rule) වඩාත් ශක්තිමත් කිරීම සහ රජය සතු ව්‍යවසායවල පාලනය ශක්තිමත් කිරීම, (ආ) මුදල්, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති රාමු නවීකරණය කිරීම, සහ (ඇ) වර්ධනය වේගවත් කිරීම සඳහා ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම ඇතුළත් වේ.

(අ)  වඩාත් ශක්තිමත් රාජ්‍ය මූල්‍ය නීති සහ රජය සතු ව්‍යවසායයන්හි පාලනය හරහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව කරා ළඟා වීම

රාජ්‍ය ණය ප්‍රමාණය පහත හෙළන අතර, රාජ්‍ය ආයෝජන සහ සමාජ සේවා සඳහා වූ වියදම් සිදු කිරීමට අවස්ථාව පවත්වා ගැනීමට ආදායම් පාදක කර ගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩපිළිවෙළේ ප්‍රගතිය උපකාරී වී ඇත. 2018 වසර සඳහා ප්‍රාථමික ගිණුමේ අතිරික්ත ශේෂයක් පවත්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට සහ 2020 වසර වන විට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.5 දක්වා අඩු කර ගැනීමට තවදුරටත් ආදායම් ඒකරාශී කිරීම අත්‍යවශ්‍ය වේ.  වඩාත් සරල වූ සහ වඩාත් සාධාරණ වූ බදු ක්‍රමයක් ඇති කිරීම සඳහා නව දේශීය ආදායම් පනත සම්මත වීම විශාල ජයග්‍රහණයක් වන අතර, එය බාධාවකින් තොර ව ක්‍රියාවට නැංවීම තීරණාත්මක වනු ඇත.  රාජ්‍ය ආයෝජනවල සහ සමාජ ආරක්ෂණ ජාලවල කාර්යක්ෂමතාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා ද අවකාශ පවතී.

2020න් ඔබ්බට මෙම ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට සහ රාජ්‍ය ණය අඩු කිරීමට මනා ලෙස සැලසුම් කරන ලද රාජ්‍ය මූල්‍ය නීති සහාය වනු ඇත.  ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූල වන පරිදි ණය කළමනාකරණය වැඩි දියුණු වීම් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ඉහළ විනිවිදභාවයේ ආධාරයෙන්, අනුකූලතාව (Compliance) සහතික වන යාන්ත්‍රණයක් ඇතුළත් වන පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සංශෝධනය විය යුතු ය.

රජය සතු ව්‍යවසාය තුළ රජයේ මූල්‍ය සඳහා වන අවදානම අඩු කිරීමට බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ මූලික වේ. ඉලක්කගත සමාජ සංක්‍රාම වැඩසටහන්වල ආධාරයෙන්, මෙම ප්‍රතිසංස්කරණ මගින් සිදු විය හැකි බලපෑම් අවම කර ගැනීමට හැකි වනු ඇත. රජය සතු ව්‍යවසායවල විගණනය කරන ලද මූල්‍ය වාර්තා නිසි ‍කාලයට පළ කිරීමත්, මෑත කාලයේ දී හඳුන්වා දුන් ආයතනික අභිප්‍රාය ප්‍රකාශනයන් යටතේ සිදුවන කාර්ය සාධනය ක්‍රමවත් ව විමර්ශනය කිරීමත් මගින් ද රජය සතු ව්‍යවසායයන්ගේ පාලනය හා විනිවිදභාවය වැඩිදියුණු වේ.

(ආ)  මුදල්, මූල්‍ය හා විනිමය අනුපාත ප්‍රතිපත්ති රාමු නවීකරණය කිරීම

මිල කම්පන හා වෙළඳපොළ විචලන හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් ප්‍රතිපත්තිය විචක්ෂණශීලී ව කළමනාකරණය කර ඇත.  ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රධානතම අරමුණු ලෙස මිල ස්ථායිතාව රැක ගැනීමට තවදුරටත් කටයුතු කළ යුතු අතර, ඉල්ලුම් පාදක කර ගත් උද්ධමන පීඩනයක හෝ කඩිනම් ණය වර්ධනයක ලක්ෂණ පවතී නම් හෝ දැඩි මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් ව සිටිය යුතු ය.  විදේශීය අංශයේ යහපත් ප්‍රවණතාව සංචිත ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසන අතර, ප්‍රාග්ධන ප්‍රවාහ උච්චාවචනය වීම හමුවේ නම්‍යශීලී විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීම මූලික ආරක්ෂිත උපාය වේ. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණයක් කරා යන පෙර දැක්මේ අංගයක් ලෙස, මුදල් නීති පනත සඳහා සිදු කිරීමට සැලසුම් කර ඇති සංශෝධන ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියා පටිපාටිය, පාලනය හා ස්වාධීනත්වය තවදුරටත් වර්ධනය කිරීමේ ප්‍රධාන කඩඉමක් වේ. 

මූල්‍ය අංශයේ පද්ධතිමය අවදානම් පිළිබඳ ව බලධාරීන් නිරන්තර විමසිලිමත්භාවයකින් කටයුතු කළ යුතුය.  අධික ණය වර්ධනය සීමා කිරීම සඳහා, අවශ්‍ය වේ නම්, අනෙකුත් සාර්ව ආර්ථික විචක්ෂණ උපකරණ භාවිත කිරීම සලකා බැලිය හැකි ය.  බැංකු අංශය බාසල් III අවශ්‍යතා සපුරාලීම සඳහා නිසි පරිදි කටයුතු කරන අතර, ඇති විය හැකි අනපේක්ෂිත අහිතකර කම්පන සඳහා සාර්ථක ව මුහුණ දීම සඳහා හදිසි අවස්ථා සැලැස්මක් සකස් කර ගත යුතු ව ඇත.  බැංකු නො වන මූල්‍ය ආයතන ද බැංකුවලට සමාන මට්ටමකින් අධීක්ෂණයට ලක් විය යුතු අතර, ගැටලු සහිත ආයතන සම්බන්ධයෙන් නො පමාව විසඳුම් ලබා දිය යුතු ය.

(ඇ)  සර්ව සහභාගීත්වයක් සහිත වර්ධනය ඉහළ නැංවීම සඳහා ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම

‘2025 දැක්ම’ යටතේ බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණ, සර්ව සහභාගීත්වයක් සහිත ශීඝ්‍ර වර්ධනයක් ළඟා කර ගැනීම සම්බන්ධයෙන් වැදගත් වේ.  තීරු බදු,  තීරු බදු නො වන අනෙකුත් ගාස්තු (Para Tariff) සහ බදු නොවන අනෙකුත් බාධක ප්‍රතිසංස්කරණය කිරීම සහ සමීප කලාපීය ඒකාබද්ධතාව ඉහළ නැංවීම හරහා ශ්‍රී ලංකාවේ ආරක්ෂාකාරී වෙළෙඳ ප්‍රතිපත්තිය, ක්‍රමයෙන් ලිහිල් කිරීම කෙරෙහි යොමු විය යුතු ය. නව දේශීය ආදායම් බදු පනත ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීම සහ විදේශීය සෘජු ආයෝජන සඳහා එක් ස්ථානයකින් සේවා ලබා දීම 

(One-Stop-Shop) මගින් රටේ ආයෝජන සඳහා යහපත් වටපිටාවක් නිර්මාණය වනු ඇත.  දූෂණය හා නාස්තිය පිටු දැකීම සඳහා රජයේ හා රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය විනිවදභාවයකින් යුතු ව සිදු කිරීම මෙන් ම, මුදල්-විශුද්ධිකරණ වැළැක්වීම්/ත්‍රස්තවාදී කටයුතු මූල්‍යනය වැළැක්වීම් (AML/CFT)  ශක්තිමත් ක්‍රමයක් ද ඇති කිරීමට ප්‍රයත්න දැරිය යුතු ව ඇත.

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ අසමානතාව සලකා බැලීමේ දී සහ ස්ත්‍රී ශ්‍රම බලකා සහභාගීත්වය වැඩි කිරීම සඳහා වෘත්තීය පුහුණුව, නම්‍යශීලී කාර්ය සැලසුම්, ආරක්ෂිත ප්‍රවාහනය සහ දරුවන් රැක බලා ගැනීමට සහය වීම යනාදිය ඇතුළත් ශ්‍රම වෙළඳපොළ ප්‍රතිසංස්කරණ සහ ඵලදායී ස්‍ත්‍රී පුරුෂ අසමානතාව අඩු කිරීම පිණිස වූ අයවැයකරණ ප්‍රතිපත්ති අවශ්‍ය වේ. ස්වභාවික ආපදා කළමනාකරණය කිරීම සඳහා මනාව සැලසුම් කරන ලද අවදානම් මූල්‍යනය කිරීමෙ රාමුවක් ඇති කිරීම මගින් ශ්‍රී ලංකාවට කාලගුණික වෙනස්වීම සම්බන්ධ පිරිවැය අඩු කර ගත හැකි වේ.

දූත පිරිස මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ද සිල්වා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කුමාරස්වාමි යන මහත්වරුන් ද වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ, සිවිල් සමාජයේ හා ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ නියෝජිතයන් ද හමු විය.

 

 

 

 

Published Date: 

Friday, March 9, 2018