ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් සිතා මතා විකෘති කිරීම, හානි කිරීම හා වෙනස් කිරීම

2018.03.31 දිනෙන් පසු සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ දී සාමාන්‍ය මහජනතාව මුහුණ දෙන අපහසුතා හා ඔවුන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එ වැනි මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩ ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී.

ඒ අනුව, එ වැනි මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයට හෝ අනුරාධපුරය, මාතලේ, මාතර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, කිලිනොච්චි යෙහි පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාලයක් වෙත භාර දෙන ලෙස හෝ එම මුදල් නෝට්ටු පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ එවන ලෙස මහජනතාව වෙත මෙයින් දැනුම් දෙමු. අදාළ අයදුම්පත ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියෙන් (www.cbsl.gov.lk) බාගත හැකි අතර ප්‍රාදේශීය කාර්යාල හෝ ඕනෑ ම බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවක් වෙතින් ද ලබා ගත හැකිය.

තව ද, අත්වැරදීමකින් කුඩා ඉරක් හෝ තිතක් වැනි සළකුණක් සටහන් වී ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කරන ලද මුදල් නෝට්ටු ලෙස නො සලකන අතර එ වැනි මුදල් නෝට්ටු ගනුදෙනු සඳහා තවදුරටත් භාවිත කළ හැකි බව ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත මෙයින් දැනුම් දෙමු.

මීට අමතර ව සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා/හෝ වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හඳුනා ගත හැකි වන පරිදි ව්‍යවහාර මුදල් සැකසීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කරන ලෙස සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත උපදෙස් ලබා දී ඇත. කෙ සේ වුව ද, ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) හෝ වෙනත් ව්‍යවහාර මුදල් හැසිරවීමේ යන්ත්‍රයක් හරහා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටුවක් සාමාන්‍ය මහජනතාව අතට පත් වූ අවස්ථාවක දී එම මුදල් නෝට්ටුව ළඟ ම ඇති බැංකු ශාඛාව වෙතින් හුවමාරු කර ගත හැකි ය.

ඉහත කරුණ සම්බන්ධයෙන් මුහුණ දෙනු ලබන ඕනෑ ම අපහසුතාවක දී ඔබට අප හා සම්බන්ධ විය හැකි ය:

අධිකාරී

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

නො.30 

ජනාධිපති මාවත

කොළඹ 01

ශ්‍රී ලංකා.

දුරකථනය – 0112 477 587

ඊ මේල් - currency@cbsl.lk

ෆැක්ස් - 0112 477 726

 

Published Date: 

Thursday, March 29, 2018