ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2018 පෙබරවාරි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 ජනවාරි මාසයේ දී වාර්තා කළ 51.7ක දර්ශක අගයට සාපේක්ෂ ව 2018 පෙබරවාරි මාසයේ දී 55.6ක දර්ශක අගයක් වාර්තා කළේ ය. ඒ අනුව, 2018 ජනවාරි මාසයේ දී ඇති වූ සෘතුමය පහළ යෑමෙන් අනතුරු ව, පෙබරවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ කටයුතු වැඩි වේගයකින් වර්ධනය විය. මේ සඳහා, නව ඇණවුම් උප දර්ශකයේ ඉහළ යෑම ප්‍රධාන වශයෙන් ම බලපෑවේ ය. එ මෙන් ම, නව ඇණවුම් උප දර්ශකය ඉහළ යෑමත් සමඟ ම නිෂ්පාදන උප දර්ශකය ද ඉහළ ගියේ ය. එ සේ නමුත්, පෙබරවාරි මාසය තුළ රාජකාරී දින ගණන අඩු වීම හේතුවෙන්, මෙම ඉහළ යෑම නව ඇණවුම උප දර්ශකයේ ඉහළ යෑමට සාපේක්ෂ ව අඩු අගයක් වේ. තව ද, ගැනුම් තොග උප දර්ශකය ද මෙම මාසය තුළ දී ඉහළ ගිය අතර, සේවා නියුක්ති උප දර්ශකය සුළු වශයෙන් ඉහළ යන ලදී. මේ අතරතුර දී,  ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් ඉහළ ගියේ ය. තව ද, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරමින්, 2018 පෙබරවාරි මාසයේ දී සමස්තයක් ලෙස නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු විය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.  

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 ජනවාරි මාසයේ දී  වාර්තා වූ 56.6 දර්ශක අගයට සාපේක්‍ෂ ව පෙබරවාරි මාසයේ දී  58.4ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙම වර්ධනය සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක‍්‍රියාකාරකම්, සේවා නියුක්තිය හා අපේක්‍ෂිත ව්‍යාපාර ක‍්‍රියාකාරකම් යන උපදර්ශක දායක විය. ව්‍යාපාර ක‍්‍රියාකාරකම්වල දක්නට ලැබුණු තියුණු වර්ධනයට මූල්‍ය, තොරතුරු තාක්ෂණ හා ප‍්‍රවාහන යන සේවා අංශ දායක විය. මේ අතර 2018 ජනවාරි මාසයේ දී සේවා නියුක්තියේ සිදු වූ අඩු වීමට සාපේක්‍ෂ ව පෙබරවාරි මාසයේ දී එහි වැඩිවීමක්, විශේෂයෙන් ම සිල්ලර හා තොග වෙළඳාම් යන අංශයේ දක්නට ලැබිණි. තව ද, සේවා සපයන්නන්ගේ ඉදිරි  මාස 3 සඳහා අපේක්‍ෂාවන් ද මධ්‍යස්ථ ලෙස ඉහළ ගිය බව සමීක්ෂණය තුළින් හෙළිදරව් විය. පසුගිය මාස දෙක තුළ දක්නට ලැබුණු වැඩි වන ප‍්‍රවණතාවට ප‍්‍රතිවිරුද්ධ ව, නිම කිරීමට ඇති කාර්යයන් පෙබරවාරි මාසයේ දී අඩු විය. මේ සඳහා නව බඳවා ගැනීම් හේතුවෙන් සේවා නියුක්තියේ ඇති වූ වර්ධනය යම් දායකත්වයක් සපයන ලදී. ඉදිරි කාලයේ දී ඇති විය හැකි වැටුප් වර්ධන හේතුවෙන් අපේක්‍ෂිත ශ‍්‍රම පිරිවැය, 2018 පෙබරවාරි මාසයේ දී ඉහළ ගිය අතර, සේවා අංශයේ අය කරන මිල ගණන් අඩු වේගයකින් ඉහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, March 15, 2018