2018 පෙබරවාරි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 ජනවාරි මාසයේ පැවති සියයට 5.4ට සාපේක්ෂ ව 2018 පෙබරවාරි මාසයේ දී සියයට 3.2ක් දක්වා පහළ ගියේ ය. මේ සඳහා, 2017 පෙබරවාරි මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙන් ම 2018 පෙබරවාරි මාසයේ දී පැවති සතුටුදායක සැපයුම් තත්ත්ව හේතුවෙන් ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම 2018 පෙබරවාරි මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම සැලකිය යුතු පහළ යෑමට හේතු විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 7.6 සිට 2018 පෙබරවාරි මාසයේ දී  සියයට 7.2 දක්වා පහළ ගියේ ය.

මාසික වෙනස් වීම සැලකූ විට, ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් පහළ යෑම, විශේෂයෙන් එළවළු, අමු මිරිස්, රතු ළූණු, සහල් සහ ලොකු ළූණු මිල ගණන් පහළ යෑම හේතුවෙන් ජාතික පාරිභෝගික මිල දර්ශකය 2018 ජනවාරි මාසයේ වාර්තා වූ දර්ශක අංක 125.8 සිට 2018 පෙබරවාරි මාසයේ දී දර්ශක අංක 123.7 දක්වා පහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩය තුළ සන්නිවේදන උප කාණ්ඩයේ  හැර අනෙකුත් සෑම උප කාණ්ඩයක ම මිල ඉහළ යෑම් දක්නට ලැබිණි.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, 2017 සැප්තැම්බර් මාසයේ සිට පෙන්නුම් කළ ආකාරයට තව දුරටත් පහළ යෑමේ නැඹුරුවක් අනුගමනය කළේ ය. ඒ අනුව, ජාතික පාරිභෝගික දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 ජනවාරි මාසයේ දී පැවති සියයට 2.1 සිට 2018 පෙබරවාරි මාසයේ දී සියයට 2.0 දක්වා පහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය මුලික උද්ධමනය 2018 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.5 සිට 2018 පෙබරවාරි මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේ ය.

ම්පූර්ණ ලිපිය

Published Date: 

Wednesday, March 21, 2018