2018 ජනවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2018 ජනවාරි මාසයේ දී වෙළඳ හිඟය පුළුල් වීම හමුවේ වුව ද, මූල්‍ය ගිණුමේ ලැබීම් ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ වර්ධනයක් පිළිබිඹු විය.  මාසය තුළ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම  ඉහළ ගිය ද අපනයන ආදායමේ ඉහළ යෑමට වඩා වැඩියෙන් ආනයන වියදම ද  සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. කෙ සේ වුව ද, පසුගිය වසරේ පැවති මධ්‍යස්ථ ප්‍රවණතාවයේ වෙනසක් ඇති කරමින් 2018 වසරේ ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේ ය. 2017 වසරේ දී  අඩු වීමක් වාර්තා කළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව 2018 වසරේ ජනවාරි මාසයේ දී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේ ය. මේ අතර රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ හා කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන හේතුවෙන් 2018 වසරේ ජනවාරි මාසයේ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත අඛණ්ඩ ව ඉහළ ලැබීම් ප්‍රමාණයක් වාර්තා විය. 2018 වසරේ ජනවාරි මස අවසානය වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.3කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 7.7ක් විය. මේ අතර, දේශීය විදේශ විනිමය වෙළඳපොළේ වර්ධනයන් පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා රුපියල එක්සත් ඩොලරයට සාපේක්ෂ ව 2018 වසරේ ජනවාරි මාසයේ දී සියයට 0.6කින් සහ 2018 වසරේ අප්‍රේල් මස 5 වැනි දින දක්වා කාල පරිච්ඡේදය තුළ දී සියයට 2.0කින් ද අවප්‍රමාණය විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, April 6, 2018