මුදල් ප්‍රතිපත්ති විවරණය - 2018 අංක 2

උද්ධමනයෙහි සහ උද්ධමන අපේක්ෂාවන්හි හිතකර වර්ධනයන් මෙන් ම, ආර්ථිකයට ළඟා විය හැකි උපරිම වර්ධන මට්ටම සහ පවත්නා වර්ධන මට්ටම අතර පරතරය පුළුල් කිරීමට හේතු වූ සාපේක්ෂ ව අඩු මූර්ත දළ චේශීය නිෂ්පාදිතයේ වර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින් 2018 අප්‍රේල් මස 3 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව වන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේ ය. මෑතක දී දේශීය වෙළෙඳපොළ තුළ දක්නට ලැබුණු පොලී අනුපාතිකවල විචලනය අඩු කිරීමට ද, මෙම තීරණය හේතු වනු ඇතැ යි අපේක්ෂිත ය. 

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අඩු කිරීම සඳහා මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණය පහත සඳහන් සාර්ව ආර්ථික වර්ධනයන් මත පදනම් වේ. 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව, 2016 වසර තුළ දී වාර්තා වූ සියයට 4.5 හා සැසඳීමේ දී 2017 වසර තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3.1ක වර්ධනයක් වාර්තා කරමින් 2017 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන ක්‍රියාකාරීත්වය සාපේක්ෂ ව අඩු මට්ටමක පැවතුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගය, මන්දගාමී ව පවතින කෙටිකාලීන වර්ධන අපේක්ෂා වැඩිදියුණු කිරීම සඳහා සහාය වනු ඇතැ යි අපේක්ෂා කෙරෙන අතර, මැදිකාලීන ව තිරසාර ඉහළ වර්ධන ප්‍රවණතාවක් කරා ආර්ථිකය යොමු කිරීම සඳහා සැලසුම්ගත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාදයකින් තොර ව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

ආහාර උද්ධමනය අඛණ්ඩ ව අඩු වීම හා හිතකර පදනම් බලපෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය, 2018 වසරේ මාර්තු මාසයේ දී තවදුරටත් මන්දගාමී විය. 2018 වසරේ පළමු මාස දෙක තුළ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ ද එවැනි අඩු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි. දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට ප්‍රතිචාර දක්වමින් මූලික උද්ධමනය මැදි-තනි අගයක් මට්ටමට වඩා පහළින් පැවති අතර, උද්ධමන අපේක්ෂා පාලනය වී පැවතුණි. මෙම ප්‍රවණතා අනුව, නුදුරු කාලයේ දී සිදු විය හැකි පරිපාලිත මිල ගණන් සංශෝධන හේතුවෙන් උද්ධමනයට සිදුවන බලපෑම සැලකිල්ලට ගැනීමෙන් අනතුරු ව වුව ද, 2018 වසරේ දී මතුපිට උද්ධමනය ඉලක්කගත පරාසය තුළ පවතිනු ඇතැ යි පුරෝකථනය කෙරේ.

විදේශීය අංශය සැලකූ විට, 2018 ජනවාරි මාසයේ දී අපනයන ක්‍රියාකාරිත්වය මිල සහ ප්‍රමාණ යන දෙ අංශයෙන් ම ඉහළ ගිය නමුත්, ආනයන වඩා වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් විය. කෙ සේ වුවත්, ගම ගිණුම මත වූ බලපෑම යම්තාක් දුරකට සමනය වීමට&nbspසංචාරක ඉපැයීම් ලෙස ලද විදේශ විනිමය ලැබීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම හේතු විය. 2018 වසරේ පළමු කාර්තුවේ දී උද්ධමනය අඩු වීම සහ නාමික විනිමය අනුපාතිකය ක්‍රමයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් මූර්ත සඵල විනිමය අනුපාතික දර්ශකවල ක්‍රමික ගැළපීමක් සිදු වූ අතර, එ මගින් රටේ විදේශීය තරගකාරීත්වය ඉහළ නැංවිණි. ඉදිරි කාලයේ දී විදේශීය ජංගම ගිණුමේ හිඟය අඩු වීම සඳහා නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමය යටතේ තරගකාරීත්වය ඉහළ යෑම සහාය වනු ඇත. 2017 වසරේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,664 ක ශුද්ධ විදේශ විනිමය මිල දී ගැනීම්වලට අමතර ව, 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී, ජාත්‍යන්තර සංචිත ප්‍රමාණය වර්ධනය කර ගැනීම සඳහා දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ඉක්මවා මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකි වී ඇත. එ මගින් නිල විදේශීය සංචිතවල ණය මත පදනම් නො වූ සංචිත ප්‍රමාණය වර්ධනය වූ නිසා බාහිර කම්පනයන්ට නතු වීමේ අවදානම ද අඩු විය. 

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සඳහා රජයේ ප්‍රයත්නය හමුවේ වුව ද, රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම්හි සිදු වූ වෙනස්කම් හේතුවෙන් 2017 වසරේ දී සමස්ත රාජ්‍ය මූල්‍ය හිඟය අ‍පේක්ෂිත මට්ටමට වඩා වෙනස් ‍විය. කෙ සේ වෙතත්, බදු ආදායම්වල සහ පුනරාවර්තන වියදම්වල සැලකිය යුතු යහපත් වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ දී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් සහ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණයෙහි අඩුවීමක් වාර්තා විය. 2018 අප්‍රේල් මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන දේශීය ආදායම් පනත මෙන් ම, ආදායම් පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, ඉදිරි කාලයේ දී රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සඳහා සහාය වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

මුදල් අංශය සැලකීමේ දී, වාණිජ බැංකු විසින් රාජ්‍ය අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණයේ ඉහළ යෑමක් වාර්තා වුව ද, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය සහ පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය 2018 වසරේ පළමු මාස දෙක තුළ දී මන්දගාමී විය. බොහෝ වෙළෙඳපොළ පොලී අනුපාතික ඉහළ මටටම්වල ස්ථායි ව පැවති අතර, උද්ධමනය පහළ යෑමත් සමඟ ම මූර්ත පොලී අනුපාතික ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. කෙ සේ වෙතත්, මෑතක දී කෙටිකාලීන වෙළෙඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ යෑමක් පෙන්නුම් කළ බැවින් එවැනි විචලනයන් අවම කිරීම සඳහා නිසි මෙහෙයුම් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම අවශ්‍ය විය.

ඉහත සාධක මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමේ අවශ්‍යතාවක් පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය. විශේෂයෙන් ම, උද්ධමනයේ සහ උද්ධමන අපේක්ෂාවල හිතකර වර්ධනයන්, මුදල් අංශයේ ප්‍රවණතා සමඟ අඩු ආර්ථික වර්ධන ක්‍රියාකාරීත්වය යන කරුණු මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීම සඳහා පදනම් වන සාධක වේ. මේ අතර, ගෝලීය ආර්ථික වර්ධනයන් සහ දේශීය රාජ්‍ය මූල්‍ය අංශය වෙතින් ඇති විය හැකි අවදානම් ඉදිරි කාලයේ දී සමීප ව අධීක්ෂණය කළ යුතු සාධක වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 25කින් පහළ දැමීමට ගත් තීරණයත් සමඟ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.50ක් වන අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 7.25 මට්ටමේ නො වෙනස් ව පවතී. අඩු උච්චාවචන සහිත ව කෙටිකාලීන පොලී අනුපාතික යෝග්‍ය මට්ටමේ පවත්වා ගැනීමට ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව පටු කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට සහාය වනු ඇත.  

මුදල් ප්‍රතිපත්ති තීරණය:  නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් අඩු කෙරේ.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 7.25
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 8.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) සියයට 7.50

 

 

 

 

 

 

 

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2018 මැයි මස 11 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, April 4, 2018