ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තුළ මෑතකදී දක්නට ලැබුණු පීඩනය 2018 ඔක්තෝබර් මාසයේ දී ද පැවතිණි. ආනයන වියදම ඉහළ යෑමත් සහ අපනයන සුළු වශයෙන් වැඩිවීමත් හේතුකොට ගෙන ඔක්තෝබර් මාසයේ දී වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. කෙසේ වුවත්, ඇතැම් ආනයන මත මෑතකදී පැන වු යම් සීමා කිරීම්වල බලපෑම් හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළදී ආනයන වැඩිවීමේ ප්‍රවණතාවය පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ හිතකර වර්ධනයක් වාර්තා කළ අතර, සංචාරක ඉපැයීම්වල සුළු වර්ධනයක් දක්නට ලැබුණි. මූල්‍ය ගිණුම තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් දක්නට ලැබුණි. එලෙස විදේශ විනිමය ගලා යෑම් සහ ආනයන වියදම් ගෙවීම් හේතුවෙන් දේශීය විදේශ විනිමය වෙළඳපොළ මත පීඩනයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස, වසරේ පළමු මාස දහය තුළදී ශ්‍රී ලංකා රුපියල සියයට 12.3 කින් අවප්‍රමාණය විය. දළ නිල සංචිත ප්‍රමාණය සැප්තැම්බර් මස අවසානයේ පැවති එ.ජ. ඩොලර් බිලියන 7.2 සිට ඔක්තෝබර් මස අවසානයේදී එ.ජ. ඩොලර් බිලියන 7.9 දක්වා ඉහළ ගියේය. ඒ සඳහා එ.ජ. ඩොලර් බිලියන 1 ක් වූ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම ලැබීම ප්‍රධාන වශයෙන් දායක විය.















ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2018 වසරේ දෙසැම්බර් මස 07 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වී ය. මෙම සමුළුව, විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන්ට තම අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන අතර ම, කාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ සිදු කිරීම දිරිගැන්වීම අරමුණු කර ගනිමින් වාර්ෂික ව පවත්වනු ලබයි. මෙම වසරේ සමුළුව “උද්ධමන ඉලක්කකරණය සහ මහ බැංකුවේ ස්වාධීනත්වය, වගවීම සහ විනිවිදභාවය” යන තේමාව යටතේ පවත්වනු ලැබී ය.