Nomura Holdings ආයතනය විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන ආර්ථිකයන්හි විනිමය අනුපාතික අර්බුදයක් ඇතිවීමේ අවදානමක් ඇති බව මෑතක දී ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.
තවදුරටත් එම වාර්තාව උපුටා දක්වමින් එම මාධ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ කෙටිකාලීන විදේශ ණය එක්සත් ජනපද ඩොලර් බිලියන 160ක් තරම් ඉහළ අගයක් ගන්නා බව සඳහන් කරන ලදී. ශ්‍රී ලංකාවේ විදේශ ණය කිසිසේත් ම මෙ වැනි අගයකට ළඟා වී නොමැති බැවින්, තම ගණනය කිරීම්හි සිදු වී ඇති වැරදි නිවැරදි කරන ලෙස Nomura ආයතනය වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා ඇත.
මෙයට ප්‍රතිචාර වශයෙන්, Bloomberg මාධ්‍ය ආයතනයට අනුව, ‘Damocles’ වාර්තාව නිවැරදි කර ශ්‍රී ලංකාවේ කෙටිකාලීන ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.5ක් බවට නිවැරදි කිරීමට Nomura ආයතනය විසින් මාධ්‍ය වෙත විද්‍යුත් තැපැල් ප්‍රකාශයක් නිකුත් කර ඇත. කෙසේ වෙතත්, Nomura විසින් ශ්‍රී ලංකාවේ Damocles අගය වෙනස් කර නොමැත.















ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2018” පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල්වල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද ගෘහ ඒකක ආදායම් වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් ලබා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්බ ලක්ෂණවලට අදාළ දත්ත ද මූලික ආර්ථික විචල්‍යයන් පිළිබඳ පළාත් මට්ටමේ සවිස්තරාත්මක තොරතුරු ද මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ.