නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 ජුනි මස වාර්තා කළ 57.6ක අගයට සාපේක්ෂ ව 2018 ජූලි මාසයේ දී 57.2ක දර්ශක අගයක් දක්වා අඩු විය. මෙම ආන්තික පහත වැටීම සඳහා විශේෂයෙන් ම සේවා නියුක්තියේ අඩු වීම බලපාන ලදි. ආහාරපාන සහ රෙදිපිළි හා නිමි ඇඳුම් යන අංශයන්හි නුපුහුණු සේවකයින් සේවය හැර යාමත් සමඟ නවක සේවකයින් බඳවා ගැනීමේ අපහසුතාව මේ සඳහා බලපාන ලදි. තව ද, 2018 ජූලි මාසයේ දී නව ඇණවුම් සුළු වශයෙන් පහත වැටුණි. කෙ සේ වුව ද, ඉදිරි මාස තුන සඳහා රසායන ද්‍රව්‍ය හා ඖෂධ නිෂ්පාදන අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම්හි අපේක්ෂිත වර්ධනයත් සමඟ නිෂ්පාදන සහ ගැනුම් තොග වර්ධනය විය. මේ අතර, සාමාන්‍යයෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ යෑම තුළින් ආර්ථිකය වර්ධනය වන බව පිළිඹිබු වේ. එ නමුත්, මෙම මාසයේ දී ලෝක වෙළෙඳපොළ තුළ අමුද්‍රව්‍ය හිඟ වීම සහ අයහපත් කාළගුණය හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ යන ලදී. එම නිසා, ආර්ථිකයේ වර්ධනයක් එ මගින් පිළිඹිබු නො වේ.