Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2018 අංක 7

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 නොවැම්බර් මස 13 වැනි දින පැවති රැස්වීමේ දී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) පහත හෙළීමට තීරණය කළේය. මෙම තීරණයෙහි බලපෑම සමනය කිරීම සඳහා සහ සිය මධ්‍යස්ථ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) පදනම් අංක 75 කින් සියයට 8.00 දක්වාද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් සියයට 9.00 දක්වාද ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. 

මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය උපරිම වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇතිව, දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය හා විදේශීය ආර්ථික වර්ධනයන් මෙන්ම, දේශීය මූල්‍ය වෙළඳපොළ තත්ත්වද පරීක්ෂාකාරී ලෙස සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය ඉහත තීරණයට එළඹියේය. 

සම්පූර්ණ ලිපිය

ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 නොවැම්බර් 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙහි මූලික පරාමාර්ථය වී ඇත්තේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අනෙකුත් අදාළ අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම් කටයුතු සඳහා බුද්ධිමය තොරතුරු ලබා ගැනීමයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. කේ. ජගත් චන්ද්‍රසිරි මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ඩි. එම්. රූපසිංහ මහතා විසින්, මෙම අවබෝධතා ගිවිසුම මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ අත්සන් තබන ලදී.

නව නියෝජ්‍ය අධිපතිවරුන් පත් කිරීම

මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් වන එස්.ආර් ආටිගල මහතා සහ එච්.ඒ කරුණාරත්න මහතා 2018 ඔක්තෝබර් මස 31 වැනි දින සිට නියෝජ්‍ය අධිපති තනතුර සඳහා පත්කර ඇත.

මුදල් අච්චු ගැසීම පිළිබඳව සාවද්‍ය පුවත්පත් ලිපි

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි වශයෙන් මුදල් අච්චු ගැසූ බවට මෑතකදී පළවූ පුවත්පත් ලිපි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. එවැනි ලිපිවල අඩංගු සංකල්ප සහ කරුණු ඉතා සාවද්‍ය සහ නොමඟ යවන සුළු බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට අදහස් කරයි.

මෙම පුවත්පත් ලිපි මගින් රජයේ රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා පියවීමට සහාය වීම සඳහා මෑත කාලීනව ශ්‍රී ලංකා මහ බැංකුව විශාල වශයෙන් මුදල් අච්චු ගසා ඇති බව දක්වා ඇත. සාමාන්‍යයෙන්, මුදල් අච්චු ගැසීම මහ බැංකුවේ සංචිත මුදල්වල (අධි බලැති මුදල්වල) ප්‍රසාරණයක් ලෙස සැලකේ. 2017 වසර අවසානයේදී රුපියල් බිලියන 939.8 ක් වූ සංචිත මුදල් 2018 වසරේ සැප්තැම්බර් අවසානයේ රුපියල් බිලියන 1,010.5 වූ අතර, නොවැම්බර් 02 වැනි දින වන විට එය රුපියල් බිලියන 1,020.8 ක අගයක් වාර්තා කළේය. ඒ අනුව සංචිත මුදල්වල වාර්ෂික ලක්ෂමය වර්ධනය සියයට 11.6 ක් වන අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථනය කරන ලද අගයට වඩා පහළ මට්ටමක පවතී.

“A Step by Step Guide to Doing Business in Sri Lanka” ප්‍රකාශනය - 2018

" A Step by Step Guide to Doing Business in Sri Lanka " ප්‍රකාශනයේ අටවන සංස්කරණය පොදු මහජන පරිශීලනය සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දැන් නිකුත් කර ඇති අතර ‘ව්‍යාපාරයක් ආරම්භ කිරීම’, ‘ව්‍යාපාරයක් තුළ’ සහ ‘වෙනත් ක්‍රියාකාරකම්’ යන ප්‍රධාන පරිච්ඡේද තුන යටතේ වර්ගීකරණය කර ඇති මෙම ප්‍රකාශනය ව්‍යාපාරික ප්‍රජාව, විදේශීය ආයෝජකයින්, ව්‍යවසායකත්ව හැකියාවෙන් යුත් පුද්ගලයින් සහ ආයෝජන ප්‍රවර්ධන ආයතන සඳහා ප්‍රයෝජනවත් වන තොරතුරු වලින් සමන්විත වේ. එක් එක් මාතෘකාව යටතේ අදාළ ආයතන, ලේඛන අවශ්‍යතා, නියාමන නිෂ්කාශන සහ අදාළ වියදම් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අන්තර්ගත වේ. තවද, මෙම ප්‍රකාශනය සඳහා 2018 මැද භාගය වනතෙක් අදාළ ආයතන වලින් ලබා ගත් සංශෝධන ඇතුළත් කොට තිබේ.

මෙම ප්‍රකාශනය සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ල (චැතැම් වීදිය, කොළඹ 01), බැංකු විදු පියෙස ( අංක 58, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය ) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර, මාතලේ, නුවරඑළිය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය සහ අනුරාධපුරයෙහි පිහිටි ප්‍රාදේශීය කාර්යාලවල බෙදාහැරීම් කවුළු වලින් මිල දී ගත හැකිය. තවද මෙහි විද්‍යුත් පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් (http://www.cbsl.gov.lk) ලබා ගත හැක.

 

පළාත් දළ දේශීය නිෂ්පාදිතය - 2017

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.), ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් පළාත් මට්ටමින් සකස් කරගත් දර්ශක යොදා ගනිමින් පළාත් අනුව බෙදා වෙන් කර පළාත් දළ දේශීය නිෂ්පාදිතය(ප.ද.දේ.නි.) ඇස්තමේන්තු කර ඇති අතර බස්නාහිර පළාත අඛණ්ඩව රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයට ඉහළම දායකත්වය දක්වනු ලැබීය. කෙසේවුවත්, මෑතකාලීනව දක්නට ලැබුණු, බස්නාහිර පළාත ද.දේ.නි. ට දක්වන දායකත්වය අඩුවීමේ ප්‍රවණතාවය 2017 වසරේදී ද දක්නට ලැබුණු අතර එමගින් පළාත්බද විෂමතාවය අඩුවීම පිළිබිඹු කෙරේ. නාමික ද.දේ. නි. ට දෙවන හා තෙවන ඉහළම දායකත්වය මධ්‍යම හා වයඹ පළාත් විසින් ලබා දෙන ලදී.

2017 වසරේ දී නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්, පළාත් ද.දේ.නි. සඳහා දක්වන දායකත්වය ඉහළ ගිය අතර බස්නාහිර, දකුණු, උතුරු මැද සහ සබරගමුව පළාත්වල දායකත්වය පහළ ගියේය. මධ්‍යම සහ උතුරු පළාත්වල දායකත්වය නොවෙනස්ව පැවතුණි.

Pages

නිවේදන