Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2018 ඔක්තෝබර් මස උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2016 ජනවාරි මස සිට වාර්තා වූ පහළ ම අගය වන සියයට 0.1 ක අගයක් වාර්තා කරමින් 2018 ඔක්තෝබර් මාසයේ දී තෙවන වරටත් අඛණ්ඩ ව පහළ ගියේ ය. ඉහළ ආහාර මිල ගණන් හේතුවෙන් පසුගිය වසරේ අනුරූප මාසයේ දී පැවති ඉහළ පදනම් අගය 2018 ඔක්තෝබර් මාසයේ දී දක්නට ලැබුණු මතුපිට උද්ධමනයේ පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය තෙවන වරටත් අඛණ්ඩ ව පහළ ගිය අතර 2018 ඔක්තෝබර් මාසයේ දී එය සියයට -6.6 ක් ලෙස වාර්තා විය. කෙ සේ වුව ද, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අඛණ්ඩ ව ඉහළ ගිය අතර 2018 ඔක්තෝබර් මාසයේ දී එය සියයට 5.8 ක් ලෙස වාර්තා විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.0 සිට 2018 ඔක්තෝබර් මාසයේ දී සියයට 3.3 දක්වා පහළ ගියේ ය.

මූඩීස් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීමේ තීරණය පදනම් විරහිත වේ

2018 නොවැම්බර් මස 20 වන දින මූඩීස් ආයෝජන සේවා ආයතනය (මූඩීස්) විසින් ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම හා ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම B1 (සෘණ) සිට B2 (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීම රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම නිසිලෙස පිළිබිඹු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය වන අතර, එබැවින් එම තීරණය සාධාරණ නොවේ.

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෑතකාලීනව දක්නට ලැබුණු සිදුවීම් හමුවේ වුවද 2018 ජූලි මාසයේදී නිකුත් කළ අවසන් මූඩීස් ශ්‍රේණිගත කිරීමේ තීරණයේ සිට ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය පිරිහීමට ලක්වීමක් හෝ ප්‍රතිපත්තිවල කිසිදු පසුබෑමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නැවත අවධාරණය කිරීමට කැමැතිය. 2018 ඔක්තෝබර් මස 26 වැනි දින විස්තීර්ණ ණය පහසුකමෙහි පස්වන ආර්ථික කාර්යසාධන සමාලෝචන වැඩසටහනින් අනතුරුව සාර්ව ආර්ථික තත්ත්වයන්හි වැඩිදියුණු වීම් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාවේ බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිලධාරී මට්‍ටමේ එකඟතාවක් ඇති කර ගන්නා ලද අතර, එම එකඟතාව 2018 ඔක්තෝබර් මස 29 වැනි දින නිවේදනය කිරීමට නියමිතව තිබිණි. දේශපාලන තත්ත්වයෙහි වඩා පැහැදිලි බවක් ඇති වන තුරු වර්තමානය වන විට වැඩසටහනේ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකා සෞභාග්‍යය දර්ශකය - 2017

2017 වසරේ ශ්‍රී ලංකා සෞභාග්‍යය දර්ශකය, 2016 වසරේ දී වාර්තා කළ 0.661 සිට 0.771 දක්වා වර්ධනය විය. මේ සඳහා 'ආර්ථික සහ ව්‍යාපාර පරිසරය' සහ 'සමාජ-ආර්ථික යටිතල පහසුකම්' උපදර්ශකයන්හි සිදු වූ වර්ධනයන් ප්‍රධාන වශයෙන් හේතු විය. 2017 වසර තුළ ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකයේ සිදු වූ වර්ධනය සඳහා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) සහ රැකියා නියුක්තිය සම්බන්ධ අංශවල වැඩි දියුණු වීම හේතු විය. සමාජ-ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයේ වැඩිවීම කෙරෙහි අධිවේගී මාර්ග පද්ධතිය පුළුල් කිරීම සමඟ සිදු වූ මාර්ග පද්ධතියේ වර්ධනය, පාලම් සහ ගුවන් පාලම් ඉදිකිරීම, විදුලිබල පහසුකම් සහ නලජලයේ ගුණාත්මකභාවය යනාදියෙහි වැඩි දියුණු වීම ප්‍රධාන වශයෙන් දායක විය. පරිසරයේ පිරිසිදුකම සහ වායුගෝලයේ ගුණාත්මකභාවය පහළ යෑම හේතුවෙන් 2017 වසර තුළ දී ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකයෙහි අඩු වීමක් පෙන්නුම් කළ ද, එහි අනෙකුත් සංරචක වන සෞඛ්‍ය පහසුකම් පැවතීම, අධ්‍යාපන පහසුකම් පැවතීම හා එහි ගුණාත්මකභාවය, මහ ජනතාවගේ වත්කම් සහ විනෝද කටයුතු සඳහා වූ පහසුකම් පැවතීම හා භාවිතය යනාදියෙහි වර්ධනයක් දක්නට ලැබුණි.

“ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව ඉදිරිය සඳහා හැඩගැස්වීම“ යන තේමාව යටතේ බලපත්‍රලාභී බැංකුවල අධ්‍යක්‍ෂවරුන් සඳහා පවත්වන ලද තාක්‍ෂණික සැසිය

ඩිජිටල් යුගයේ අභියෝගයන්ට සක්‍රිය ලෙස මුහුණදීමේ හැකියාව ඉහළ නැංවීම තුළින් ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව ඉදිරිය සඳහා හැඩගැස්වීම“ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සියළු බලපත්‍රලාභී බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩල, ප්‍රධාන විධායක නිලධාරීන් සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ දැණුම් මට්ටම් තව දුරටත් වැඩිදියුණු කිරීම සහ යාවත්කාලීන කිරීමේ අරමුණින් 2018 නොවැම්බර් මස 14 දින රාජගිරිය බැංකු විදු පියසේ දී තාක්‍ෂණික සැසියක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 ඔක්තෝබර්

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සියලුම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරමින් 2018 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි. ඔක්තෝබර් මාසයෙහි දක්නට ලැබුණු මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන්ම, උත්සව සමයෙහි ආහාර සහ පාන නිෂ්පාදනය සඳහා ඇතිවන ඉල්ලුම හේතුවෙන්, නව ඇණවුම් සහ නිෂ්පාදනවල දක්නට ලැබුණු වර්ධනය හේතු විය. ආහාර සහ පාන අංශයෙහි සේවා නියුක්තිය, සෘතුමය ප්‍රවණතා හේතුවෙන් යම් වර්ධනයක් පෙන්නුම් කළද, සමස්ත සේවා නියුක්තියෙහි අඩු වර්ධනයක් පෙන්නුම් කරන ලදී. සේවකයන් සොයාගැනීමේ අපහසුතාවය හේතුවෙන්, රෙදිපිළි සහ නිමි ඇඳුම් නිෂ්පාදන අංශයෙහි සේවා නියුක්තියෙහි දක්නට ලැබුණු අඩු වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

වංචා සහගත මූල්‍ය ගනුදෙනු/වංචනික විද්‍යුත් තැපැල් පණිවිඩ පිළිබඳ ව සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි

විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍යයන් ඔස්සේ මෑත කාලීන ව ව්‍යාප්ත වන ජනතාව මුලා කරවන සුලු මූල්‍ය වංචාවන්ට අදාළ පණිවිඩ පිළිබඳ ව මහජනතාව වෙතින් ඉදිරිපත් වී ඇති දුක් ගැනවිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමට මහජනතාව පොළඹවා ගැනීම සඳහා විශ්වාසදායී ආයතන ලෙස පෙනී සිටිමින් මෙම වංචාකරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකු ලාංඡනය, මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලෙහි රූප සහ මහ බැංකුවේ සේවය කරන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ නම් භාවිත කරන බව ද වාර්තා වී ඇත.

Pages

නිවේදන