Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්හි තැන්පතුකරුවන් හට වන්දි මුදල් ලබා දීම

මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් ලිමිටඩ් වෙත ලබා දී තිබූ බලපත්‍රය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන ප්‍රකාරව, 2018.07.25 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලදී.

ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්හි තැන්පතුකරුවන් හට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළව නිකුත් කර ඇති රෙගුලාසීන්ට අනුකූලව මෙම වන්දි මුදල් ලබා දීමට කටයුතු කරනු ඇති අතර වන්දි මුදල් සඳහා අයදුම් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඔස්සේ උපදෙස් ලබා දෙනු ඇත.

එකී දැනුම්දීම මාධ්‍යවල පළ වූ පසුව, අදාළ උපදෙස් ප්‍රකාරව නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් නියමිත ලිපි ලේඛන ද සමග ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්හි තැන්පතුකරුවන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

අග්නිදිග ආසියානු මහ බැංකු ආයතනයෙහි (සියැසන් - SEACEN) අධිපතිවරුන්ගේ 54 වෙනි සමුළුව/ උසස් මට්ටමේ සම්මන්ත්‍රණය හා සියැසන් අධිපති මණ්ඩලයෙහි 38 වෙනි රැස්වීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියැසන් අධිපතිවරුන්ගේ 54 වෙනි සමුළුව/උසස් මට්ටමේ සම්මන්ත්‍රණය හා සියැසන් අධිපති මණ්ඩලයෙහි 38 වෙනි රැස්වීම 2018 වසරේ නොවැම්බර් මස 29 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා කොළඹ දී පැවැත්වීමට අනුග්‍රහය දක්වන ලදී. එම සමුළුව සඳහා සියැසන් සාමාජික මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්හි අධිපතිවරු සහ නියෝජිතයෝ සහභාගි වූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, මිත්සුහිරෝ ෆුරුසාවා මහතා ප්‍රධාන දේශකයා ලෙස සමුළුවට සහභාගි විය.

සියැසන් මධ්‍යස්ථානය ආසියා පැසිෆික් කලාපය තුළ මූල්‍ය, මුදල් හා බැංකු ආශ්‍රිත කරුණු පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 1982 වර්ෂයේදී පිහිටුවන ලද සියැසන් ආයතනය ආසියා පැසිෆික් කලාපයේ පිහිටි මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්ට අධ්‍යාපනික වැඩසටහන්, පර්යේෂණ කටයුතු සහ සම්බන්ධතා හරහා සිය සේවා ලබාදෙයි.

ශ්‍රේණිගත කිරීම් ආයතනවල නවතම ශ්‍රේණිගත කිරීමේ තීරණ සමඟ ‍‍ශ්‍රී ලංකා මහ බැංකුව එකඟ නොවේ

2018 දෙසැම්බර් මස 03 වන දින ෆිච් ආයතනය (ෆිච් රේටින්ග්ස්) සහ 2018 දෙසැම්බර් මස 04 වන දින ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්) විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම ‘B+’ (ස්ථාවර) සිට ‘B’ (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීමට ගත් තීරණ රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම මගින් පි‍ළිබි‍ඹු සා‍ධකවලට පටහැනිව සිදු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතයයි.

2018 සැප්තැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය පීඩනයකට ලක්විය. වෙළඳ හිඟය පුළුල් වීම සහ එ.ජ. ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් විවිධ කෙටිකාලීන ආයෝජන ආපසු රැගෙන යෑම්, මෙම මාසයේ දී ගෙවුම් තුලනය කෙරෙහි අහිතකර ලෙස බලපෑවේය. අඛණ්ඩව සිව්වැනි මාසයටත් අපනයන ආදායම එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවා ගියද, අපනයන ආදායමේ වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම වර්ධනය විය. ගෝලීය මූල්‍ය වෙළඳපොළ ශක්තිමත් වීම හමුවේ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් වාර්තා විය. මේ අතර, 2018 සැප්තැම්බර් මාසයේදී කොළඹ කොටස් වෙළඳ‍පොළෙහි ද විදේශීය ආයෝජන නැවත රැගෙන යෑම් දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වසරේ පළමු මාස අට තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 5.3 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල, දේශීය විදේශ විනිමය වෙළඳපොළේ පීඩනය පිළිබිඹු කරමින් සැප්තැම්බර් මාසයේ දී සියයට 4.6 කින් තවදුරටත් අවප්‍රමාණය විය. මෙම තත්ත්වයන් හේතුවෙන්, විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් අඩුකිරීම සඳහා විදේශ විනිමය වෙළඳපොළ වෙත මහ බැංකුවේ මැදිහත්වීම අවශ්‍ය විය. 2018 සැප්තැම්බර් අවසානය වන විට රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3.8 කට සමාන වන පරිදි එ.ජ. ඩොලර් බිලියන 7.2 ක මට්ටමක පැවතුණි.

ශ්‍රී ලංකා සංඥා බලකායේ 75 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සමරු කාසියක් නිකුත් කරයි

ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් පුරා වසර 75ක් මුළුල්ලේ රට වෙනුවෙන් කරන ලද සේවාව ඇගැයීම හා එහි 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. 10 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිත කරනු ලබන සමරු කාසියක් නිකුත් කරන ලදි. මෙහි පළමු කාසිය 2018.11.27 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබී ය. 

මෙම කාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ඉදිරියේ දී සංසරණයට නිකුත් කරනු ලබන අතර අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සමඟ ගෙවීම් සඳහා භාවිත කළ හැකි වේ.

සංසරණය සඳහා නව කාසි කාණ්ඩයක් නිකුත් කරයි

කාසි ටංකන පිරිවැය අඩු කිරීම, කල් පැවැත්ම, පහසුවෙන් රැගෙන යා හැකි බව හා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට කාසි වර්ග වෙන් කර හඳුනා ගැනීම පහසු කරවීම යන පරමාර්ථ ඇති ව මුහුණත වටිනාකම රු.10, රු.5, රු.2 හා රු.1 යන කාසි වර්ග හතරින් යුත් නව කාසි කාණ්ඩයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදි. මෙහි පළමු කාසි ඇසුරුම 2018.11.27 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබී ය. 

නව කාසි කාණ්ඩයේ කාසි 2018.12.03 දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන අතර අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සමඟ ගෙවීම් සඳහා භාවිත කළ හැකි වේ. 

Pages

නිවේදන