ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 නොවැම්බර් 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙහි මූලික පරාමාර්ථය වී ඇත්තේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අනෙකුත් අදාළ අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම් කටයුතු සඳහා බුද්ධිමය තොරතුරු ලබා ගැනීමයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. කේ. ජගත් චන්ද්‍රසිරි මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ඩි. එම්. රූපසිංහ මහතා විසින්, මෙම අවබෝධතා ගිවිසුම මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ අත්සන් තබන ලදී.

දේශීය හා ගෝලීය ආර්ථිකයට හා මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවට තර්ජනයක් වන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම ශ්‍රී ලංකාව තුළ පමණක් නො ව, වෙනත් රටවල් සමඟ ද සම්බන්ධතා පැවතිය හැකි මූල්‍ය අපරාධයන් වේ. මූල්‍ය බුද්ධි ඒකකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමට එළැඹීම මඟින් මෙම අපරාධයන් සිදුවීම වැළැක්වීම, අනාවරණය කිරීම සහ නඩු පැවරීම සඳහා අවශ්‍ය බුද්ධිමය තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකය වෙත ලැබීමට ඉඩ සලසයි.

මේ වන විට මූල්‍ය බුද්ධි ඒකකය විදේශීය පාර්ශව 37ක් සමඟ සහ ශ්‍රී ලංකා රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව යන දේශීය රාජ්‍ය ආයතන 7ක් සමඟ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවත්වීමේ රාමුව ශක්තිමත් කිරීම වස් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුම්වලට එළැඹී ඇත.

Published Date: 

Tuesday, November 13, 2018