2018 ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. එක්සත් ජනපද ඩොලර් මගින් දැක්වූ විට වසර තුළ මෙතෙක් වාර්තා වූ අඩු ම වෙළෙඳ හිඟය ජුනි මාසයේ දී වාර්තා වුව ද, අපනයන ආදායම් ඉහළ යෑමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් ඉහළ යෑම හේතුවෙන් 2017 වසරේ ජුනි මාසය හා සැසැඳීමේ දී 2018 ජුනි මාසයේ දී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2017 ජුනි මාසයට සාපේක්ෂ ව අඩු වීමක් පෙන්නුම් කළ ද, වසර ආරම්භයේ සිට දක්නට ලැබුණු වර්ධන ප්‍රවණතාව අඛණ්ඩ ව පවත්වා ගනිමින් 2018 ජුනි මාසයේ දී සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි පස්වන වාරිකය සහ හම්බන්තොට වරාය පැවරීමේ තෙවන වාරිකය ලැබීම හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් වුව ද, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ද්විතීයික වෙළෙඳපොළ වෙතින් වූ විදේශීය ආයෝජන ඉවත් කර ගැනීම් හේතුවෙන් ගෙවුම් තුලනය මත යම් පීඩනයක් ඇති විය.