ශ්‍රී ලංකා සෞභාග්‍යය දර්ශකය - 2017

2017 වසරේ ශ්‍රී ලංකා සෞභාග්‍යය දර්ශකය, 2016 වසරේ දී වාර්තා කළ 0.661 සිට 0.771 දක්වා වර්ධනය විය. මේ සඳහා 'ආර්ථික සහ ව්‍යාපාර පරිසරය' සහ 'සමාජ-ආර්ථික යටිතල පහසුකම්' උපදර්ශකයන්හි සිදු වූ වර්ධනයන් ප්‍රධාන වශයෙන් හේතු විය. 2017 වසර තුළ ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකයේ සිදු වූ වර්ධනය සඳහා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) සහ රැකියා නියුක්තිය සම්බන්ධ අංශවල වැඩි දියුණු වීම හේතු විය. සමාජ-ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයේ වැඩිවීම කෙරෙහි අධිවේගී මාර්ග පද්ධතිය පුළුල් කිරීම සමඟ සිදු වූ මාර්ග පද්ධතියේ වර්ධනය, පාලම් සහ ගුවන් පාලම් ඉදිකිරීම, විදුලිබල පහසුකම් සහ නලජලයේ ගුණාත්මකභාවය යනාදියෙහි වැඩි දියුණු වීම ප්‍රධාන වශයෙන් දායක විය. පරිසරයේ පිරිසිදුකම සහ වායුගෝලයේ ගුණාත්මකභාවය පහළ යෑම හේතුවෙන් 2017 වසර තුළ දී ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකයෙහි අඩු වීමක් පෙන්නුම් කළ ද, එහි අනෙකුත් සංරචක වන සෞඛ්‍ය පහසුකම් පැවතීම, අධ්‍යාපන පහසුකම් පැවතීම හා එහි ගුණාත්මකභාවය, මහ ජනතාවගේ වත්කම් සහ විනෝද කටයුතු සඳහා වූ පහසුකම් පැවතීම හා භාවිතය යනාදියෙහි වර්ධනයක් දක්නට ලැබුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, November 16, 2018