මුදල් අච්චු ගැසීම පිළිබඳව සාවද්‍ය පුවත්පත් ලිපි

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි වශයෙන් මුදල් අච්චු ගැසූ බවට මෑතකදී පළවූ පුවත්පත් ලිපි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. එවැනි ලිපිවල අඩංගු සංකල්ප සහ කරුණු ඉතා සාවද්‍ය සහ නොමඟ යවන සුළු බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට අදහස් කරයි.

මෙම පුවත්පත් ලිපි මගින් රජයේ රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා පියවීමට සහාය වීම සඳහා මෑත කාලීනව ශ්‍රී ලංකා මහ බැංකුව විශාල වශයෙන් මුදල් අච්චු ගසා ඇති බව දක්වා ඇත. සාමාන්‍යයෙන්, මුදල් අච්චු ගැසීම මහ බැංකුවේ සංචිත මුදල්වල (අධි බලැති මුදල්වල) ප්‍රසාරණයක් ලෙස සැලකේ. 2017 වසර අවසානයේදී රුපියල් බිලියන 939.8 ක් වූ සංචිත මුදල් 2018 වසරේ සැප්තැම්බර් අවසානයේ රුපියල් බිලියන 1,010.5 වූ අතර, නොවැම්බර් 02 වැනි දින වන විට එය රුපියල් බිලියන 1,020.8 ක අගයක් වාර්තා කළේය. ඒ අනුව සංචිත මුදල්වල වාර්ෂික ලක්ෂමය වර්ධනය සියයට 11.6 ක් වන අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථනය කරන ලද අගයට වඩා පහළ මට්ටමක පවතී.

මේ අතර, 2018 සැප්තැම්බර් මස මැද පටන් දේශීය මුදල් වෙළඳපොළ තුළ පැවති රුපියල් ද්‍රවශීලතා හිඟය හේතුවෙන් සුදුසු පරිදි විවට වෙළඳපොළ කටයුතු හරහා වෙළඳපොළට ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් සැපයීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වූ අතර, වෙළඳපොළ සහභාගීවන්නන් හට ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ නිත්‍ය පහසුකම් සඳහා ප්‍රවේශ වීමටද ඉඩ සලසන ලදී. වෙළඳපොළ තුළ ඉහළ මට්ටමේ සහ දිගු කාලීන වශයෙන් හිඟ ද්‍රවශීලතාවක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දිගු කාලීන ප්‍රතිවිකුණුම් වෙන්දේසි පැවැත්වූ අතර, ප්‍රධාන වශයෙන් ද්විතීයීක වෙළඳපොළ වෙතින් රාජ්‍ය සුරැකුම්පත් ස්ථාවර පදනම මත මිලදී ගැනීම ද සිදු කළේය. මෙවැනි ක්‍රියාකාරකම් වෙළඳපොළ සහභාගිවන්නන් සමඟ කෙරෙන සාමාන්‍ය මුදල් මෙහෙයුම් කටයුතු වන අතර, ඒ සඳහා රාජ්‍ය මූල්‍ය තත්ත්වය හෝ දේශපාලනමය සිදුවීම්වල කිසිදු අදාළත්වයක් නොමැත.

විවට වෙළඳපොළ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගයෙහි ශුද්ධ වටිනාකම (දළ භාණ්ඩාගාර බිල්පත් වටිනාකමට සමස්ත ප්‍රතිවිකුණුම් වටිනාකම සහ නිත්‍ය ණය පහසුකම් වටිනාකම එකතු කර ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සිදු කරන ලද ප්‍රතිමිලදී ගැනීම් වටිනාකම් අඩුකිරීමෙන්) 2018 නොවැම්බර් මස 02 වැනි දින වන විට රුපියල් බිලියන 224.4 ක් විය. කෙසේ වෙතත්, 2018 නොවැම්බර් මස 02 වැනි දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගයෙහි දළ වටිනාකම වූයේ රුපියල් බිලියන 67.4 කි. මෑත කාලීන විවට වෙළඳපොළ කටයුතු මගින් ආර්ථිකයේ මුදල් සැපයුම මත අනිසි ප්‍රසාරණාත්මක බලපෑම් ඇති කර නොමැති බව අඛණ්ඩව මන්දගාමී මට්ටමක පවතින සංචිත මුදල් වර්ධනය තුළින් පිළිබිඹු වේ.

මාධ්‍යවේදීන් අතලොස්සකගේ සාවද්‍ය ලිපි මගින් නොමඟ යෑමකින් තොරව, මුදල් ප්‍රසාරණය පිළිබඳ නිසි දැනුම ලබා ගැනීම සඳහා ඊට උනන්දුවක් දක්වන සාමාන්‍ය මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ පළකරනු ලබන නිවැරදි තාක්ෂණික ලිපි උපයෝගී කර ගන්නා ලෙසට උපදෙස් දෙනු ලැබේ (උදා: ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනි, ස්වර්ණා ගුණරත්න මහත්මිය විසින් රචිත “මහ බැංකුව මුදල් අච්චු ගසන්නේ නිසි පාලනයක් ඇතිවද?“ යන ලිපිය https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics... මගින් පරිශීලනය ක‍ළ හැකිය).

Published Date: 

Wednesday, November 7, 2018