මෑත කාලීන ප්‍රතිපත්ති තීරණ වෙළෙඳපොළ ණය පොලී අනුපාතික වෙත සම්ප්‍රේෂණය වීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරයි

වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල පහළ යෑමක් ඇති කරවීම සඳහා පසුගිය මාස එකොළහක කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හා නියාමන ප්‍රතිපත්ති ගණනාවක් ගෙන ඇත. මෙම ක්‍රියාමාර්ග අතරට, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය  (SLFR) පදනම් අංක 100කින් පියවර දෙකකින් අඩු කිරීම, බලපත්‍රලාභී වාණිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතාංක 2.50කින් පහත දමමින් ඒ හරහා මූල්‍ය වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 150ක පමණ අතිරික්ත ද්‍රවශීලතාවක් සැපයීම සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතන මගින් පිරිනමනු ලබන රුපියල් තැන්පතු පොලී අනුපාතික මත සීමා පැනවීම මගින් එම ආයතනවල මහජන අරමුදල් රැස් කිරීමේ පිරිවැය පහළ දැමීම යනාදිය ඇතුළත් වේ. 

මනා ව පාලනය වූ උද්ධමනය හා උද්ධමන අපේක්ෂා මධ්‍යයේ, ආර්ථික ක්‍රියාකාරකම්වලට සහයෝගය දැක්වීමේ අරමුණ සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත. තව ද, පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් පසු ආර්ථිකයට ඇති වූ පසුබෑම සමඟ වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ දැමීමේ අවශ්‍යතාව තවදුරටත් තීව්‍ර වී ඇත. එ මෙන් ම, විවිධ සාධක හේතු කොට ගෙන මෙම වසර ආරම්භයේ සිට පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය තියුණු ලෙස පහළ ගොස් ඇති අතර, අක්‍රීය ණය වර්ධනය වී ඇත. ණය ප්‍රසාරණය මන්දගාමී වීම සහ අක්‍රීය ණය වැඩි වීම සඳහා ඉහළ මට්ටමේ පවතින නාමික සහ මූර්ත ණය‍ පොලී අනුපාතික එක් ප්‍රධාන හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස වේ. එ මෙන් ම, සමාන ආර්ථිකයන් සමඟ සැසදීමේ දී ශ්‍රී ලංකාවේ මූර්ත ණය‍ පොලී අනුපාතික පිළිගත නො හැකි ඉහළ මට්ටමක පවතින අතර, පසුගිය වසර 10 තුළ දී රට තුළ පැවති අඩු උද්ධමන වාතාවරණය මෙන් ම යෝජිත නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ උද්ධමනය සියයට 4 - 6 පරාසයේ පවත්වා ගැනීමේ අපේක්ෂා සමඟ ද අනුකූල නො වේ. 

ඒ අනුව, මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන සංශෝධිත මුදල් නීති පනතේ  104 (1) (b) යන වගන්තිය යටතේ බලපත්‍රලාභී බැංකුවල රුපියල් ණය සහ අත්තිකාරම් සඳහා අදාළ වන පොලී අනුපාතික, ඇතැම් බැහැර කිරීම්වලට යටත් ව, 2019 අප්‍රේල් 30 වන දින පැවති පොලී අනුපාතිකවලට සාපේක්ෂ ව 2019 ඔක්තෝබර් 15 දින වන විට අවම වශයෙන් පදනම් අංක 200කින් අඩු කරන ලෙස නියම කරන ලදී.

එ මෙන් ම, 2019 නොවැම්බර් 01 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි, ණයපත් (Credit Cards) සඳහා අදාළ උපරිම පොලී අනුපාතිකය වසරකට සියයට 28ක් වන අතර, පූර්ව අනුමත කරන ලද තාවකාලික අයිරා (Temporary Overdrafts) සඳහා අදාළ වන උපරිම පොලී අනුපාතිකය වසරකට සියයට 24ක් වනු ඇත. 2019 ඔක්තෝබර් 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, අනුමත ප්‍රමාණයන් ඉක්මවා යන හෝ හිඟ කාල සීමාවන්ට අදාළ හිඟ ගෙවීම් මත දණ්ඩන පොලී අනුපාතික වසරකට පදනම් අංක 400ක උපරිම සීමාවකට යටත් වනු ඇත. 

සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ම එහි බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR), 2019 අප්‍රේල් මස 26 වැනි දා වාර්තා කරන ලද මට්ටමේ සිට 2019 දෙසැම්බර් මස 27 වැනි දින වන විට පදනම් අංක 250කින් අඩු කරනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 2019 නොවැම්බර් මස 01 වැනි දින වන විට බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය, 2019 අප්‍රේල් මස 26 වැනි දින වාර්තා වූ අගයෙහි සිට අවම වශයෙන් පදනම් අංක 150කින් අඩු විය යුතු ය.

මූල්‍ය පද්ධතිය හරහා මුදල් ප්‍රතිපත්තිය වඩා කාර්යක්ෂම ව සම්ප්‍රේෂණය වීම සහතික කිරීම සඳහා මහ බැංකුව විසින් වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල ප්‍රවණතා අඛණ්ඩ ව අධීක්ෂණය කරනු ඇත. මෙම නියමය 2020 මාර්තු මස වන විට නැවතත් සමාලෝචනය කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි. 

Published Date: 

Tuesday, September 24, 2019