මූල්‍ය පද්ධති අධීක්ෂණ කවුන්සිලය

සාර්ව විචක්ෂණ සහ ක්ෂුද්‍ර විචක්ෂණ ක්‍රියාමාර්ග ඵලදායී ලෙස සම්බන්ධීකරණයෙන් සහ ක්‍රියාත්මක කිරීමෙන් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සුරක්ෂිත කිරීමට දායක වීමේ අරමුණ ඇතිව මූල්‍ය පද්ධති අධීක්ෂණ කවුන්සිලය පිහිටුවන ලදී. මෙහිදී නියාමනය කරන ලද මූල්‍ය ආයතනවල තිරසාරභාවය සහ ස්ථාවරත්වය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කෙරෙනු ඇත.

මූල්‍ය පද්ධති අධීක්ෂණ කවුන්සිලයෙහි ප්‍රධාන කාර්යයන්

  1. හඳුනාගෙන ඇති පද්ධතිමය අවදානම් අවම කිරීම සඳහා මූල්‍ය පද්ධති අධීක්ෂණ කවුන්සිලය විසින් සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති සාකච්ඡා කර නිර්දේශ කිරීම මෙන්ම එකඟ වූ සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති මූල්‍ය අංශයේ නියාමකයන් හරහා ක්‍රියාත්මක කිරීමට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇත.
  2. මූල්‍ය පද්ධතියේ තම විෂය පථයන්ට අයත් අංශවල කාර්යක්ෂමතාව, ශක්තිමත්භාවය සහ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අදාළ අංශවල බලධාරීන් අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ප්‍රවර්ධනයට මෙම කවුන්සිලය කටයුතු කරනු ඇත.

මූල්‍ය පද්ධති අධීක්ෂණ කවුන්සිලයෙහි සංයුතිය පහත පරිදි වේ:

සභාපති

 අධිපති , ශ්‍රී ලංකා මහ බැංකුව

සාමාජිකයින්

මූල්‍ය අංශයේ නියාමනය සහ අධීක්ෂණය භාර නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති භාර නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
භාණ්ඩාගාර ලේකම් විසින් නම් කරන ලද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙක්
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී/සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී/සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්
සමාගම් රෙජිස්ට්‍රාර්
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්

මූල්‍ය පද්ධති අධීක්ෂණ කවුන්සිලයෙහි ලේකම් කාර්යාලය

සාර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

මූල්‍ය පද්ධති අධීක්ෂණ කවුන්සිලය අවම වශයෙන් කාර්තුවකට වරක් රැස්වේ. එමෙන්ම ඕනෑම විශේෂ රැස්වීමක් සභාපතිවරයා විසින් කැඳවිය හැකිය.