2019 ජූනි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළඳ ගිණුමේ හිඟය සැලකිය යුතු ලෙස පහළ යෑම සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර තුළින් ලද විදේශ විනිමය ලැබීම් සමඟ දළ නිල සංචිත වර්ධනය වීම හේතුවෙන් 2019 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් විය.

2019 ජූනි මස දී වෙළඳ හිඟය, එ.ජ. ඩොලර් මිලියන 316 දක්වා අඩු වූ අතර එය 2010 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ අවම අගය වේ.

වෙළඳ හිඟයේ මෙම සැලකිය යුතු පහළ යෑම සඳහා ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 23.1 කින් අඩු වීම සහ අපනයන ඉපැයීම් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 5.8 කින් ඉහළ යෑම හේතු විය.

සංචාරක ඉපැයීම්, පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑමෙන් පසුව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් 2019 වසරේ ජූනි මාසයේදී ඉහළ ගියේය. 2019 මැයි මාසයට සාපේක්ෂව සංචාරක ඉපැයීම් 2019 ජූනි මාසයේදී සියයට 66.8 කින් ඉහළ ගියේය. කෙසේ වෙතත්, 2019 ජූනි මාසයේදී සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 57.0 කින් අඩු විය.

2019 වසරේ ජූනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 537 ක් දක්වා සියයට 2.5 කින් ඉහළ ගියේය. සමුච්චිත පදනම මත, 2019 වසරේ පළමු භාගයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 3,270 ක් ලෙස වාර්තා විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, August 20, 2019