2026 මාර්තු මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක් වාර්තා කළේය

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 මාර්තු මාසයේ දී  දර්ශකාංක 57.1ක අගයක් වාර්තා කරමින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කළේය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ අය විසින් මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඇතිවූ  ඉන්ධන සහ අමුද්‍රව්‍ය හිඟය, ඉහළ යන පිරිවැය සහ සැපයුම් සීමාවන් හේතුවෙන් පැනනැගී ඇති අභියෝගාත්මක වාතාවරණය පිළිබඳව වාර්තා කරන ලදී.

නව ඇණවුම් දර්ශකය මෙම මාසය තුළ ද වර්ධනය වූ අතර, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් තවදුරටත් ඉහළ මට්ටමකින් පවතින බව වාර්තා කරන ලදී. පවතින අවිනිශ්චිත වාතාවරණය හමුවේ වුවද සැළසුම් කරගත් බඳවා ගැනීම් සහ මිලදී ගැනීම් අඛණ්ඩව සිදුකිරීම පිළිබිඹු කරමින් සේවා නියුක්ති සහ තොග මිලදී ගැනීම් දර්ශක මාර්තු මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය. ඉදිරියේ දී තවදුරටත් මිල ඉහළ යනු ඇතැයි පවතින අපේක්ෂා හේතුවෙන්, බොහෝ සමාගම් තොග එක්රැස් කර ගැනීමට ප්‍රයත්න දරන අතර, සැපයුම්කරුවන් සීමා සහිතව අමුද්‍රව්‍ය නිකුත්   කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව ප්‍රතිචාර දැක්වූ බොහෝ අය සඳහන් කළහ. මේ අතර, ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය ආශ්‍රිත ප්‍රමාදයන් හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

ඉදිකිරීම් ව්‍යාපෘති තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂාවෙන් ඉදිරි කාර්තුව සඳහා අපේක්ෂා කඩඉම් මට්ටමට වඩා ඉහළින් පැවතුනද, මැද පෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණයෙන් ඇතිවන අවිනිශ්චිතතා හේතුවෙන් එහි යම් අඩුවීමක් දක්නට ලැබුණි.

PDF

Published Date: 

Thursday, April 30, 2026