මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී ඉහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඇති වූ බලපෑම්, විශේෂයෙන්ම දේශීය බලශක්ති මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යෑම් පිළිබිඹු කරමින්, 2026 අප්‍රේල් මාසයේ දී ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 2.2ට සාපේක්ෂව 2026 අප්‍රේල් මාසයේ දී සියයට 5.4ක් දක්වා වැඩිවිය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර උද්ධමනය 2026 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 0.7හි සිට 2026 අප්‍රේල් මාසයේ දී සියයට 2.8 දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන උද්ධමනය 2026 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 2.9හි සිට 2026 අප්‍රේල් මාසයේ දී සියයට 6.8ක් දක්වා ඉහළ ගොස් මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා සැලකිය යුතු දායකත්වයක් දැක්වීය.

මාසික පදනම මත, කොළඹ පාරිභෝගික මිල දර්ශකය 2026 අප්‍රේල් මාසයේ දී සියයට 2.99ක ඉහළ යෑමක් වාර්තා කළේය. මෙම ඉහළ යෑම සඳහා ආහාර නොවන කාණ්ඩය ප්‍රතිශතාංක 2.43කින් දායක වූ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රවාහන උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑම හේතු විය. ආහාර කාණ්ඩය මෙම වැඩිවීමට ප්‍රතිශතාංක 0.56කින් දායක විය.

මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය ද 2026 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 2.5හි සිට 2026 අප්‍රේල් මාසයේ දී සියයට 3.8 දක්වා ඉහළ ගියේය.

2026 මාර්තු මාසය දක්වා උද්ධමනය ඉලක්කගත සියයට 5ට සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම හමුවේ, බලශක්ති මිල ගණන් ඉහළ යෑම සහ එමගින් උද්ධමනය  කෙරෙහි එල්ලවන කරන වක්‍ර බලපෑම් සඳහා  මුහුණ දීමට ප්‍රමාණවත් අවකාශයක් සැලසුනේය. මැද‍පෙරදිග යුද ගැටුම් තත්ත්වයේ නිරන්තර වෙනස්වන ස්වභාවය සහ ගෝලීය මෙන්ම දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි එමගින් ඇතිවන පුළුල් බලපෑම් මධ්‍යයේ, වත්මන් උද්ධමන ඉදිරි දැක්ම සඳහා ඉහළ අවිනිශ්චිතතා පවතී. සැපයුම් අංශයේ කෙටි කාලීනව ඇතිවිය හැකි වෙනස්වීම් නොතකා, දැනට පවතින තොරතුරු සහ උපකල්පන මත පදනම්ව, සුදුසු ප්‍රතිපත්තිවල සහාය ඇතිව, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමට ආසන්නව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

PDF

Published Date: 

Thursday, April 30, 2026