Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා වන නව නීති මගින් රටට බහුවිධ ප්‍රතිලාභ අත්වන අතර විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කරනු ලබන ප්‍රේෂණ කෙරෙහි කිසිදු බලපෑමක් නැත

කොවිඩ්-19 වසංගතයෙන් දැඩි බලපෑමකට ලක්වී ඇති ශ්‍රී ලංකාව, සාර්ව-ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා යොමු වූ මාවතකට අවතීර්ණ වී ඇත. වසංගතය හේතුවෙන් රටට විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ලෙස අහිමි වුව ද, රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය මූල්‍ය, මුදල් සහ මහජන සෞඛ්‍ය ආදී විවිධ පැති තුළින් සපයන ලද පෙර නොවූ විරූ සහයෝගය, ආර්ථිකය මෙන්ම විදේශ විනිමය උපයන ඇතැම් අංශ ශක්තිමත් ලෙස නැවත යථා තත්ත්වයට පත්වීම සඳහා උපකාරී වී තිබේ. ඉදිරි කාලපරිච්ඡේදය තුළ සංචාරක අංශය ද කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර, විධිමත් මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ගලා ඒම වැඩිදියුණු කිරීමට ඒකාබද්ධ උත්සාහයන් ගනු ලැබේ. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළේ මෑතකාලීන ආතතීන්, ආර්ථිකය විවිධ ආකාරයේ කම්පනයන්ට නිරාවරණය කෙරෙන විදේශ ණය ගැනීම් වැඩි කිරීමට සාපේක්ෂව, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශ විනිමය ඉපැයීම් මත යැපීම ක්‍රමානුකූලව වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. 

කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලබා දුන් ණය සහන රුපියල් බිලියන 4,000 ඉක්මවා ඇත: සෞභාග්‍යා ණය රුපියල් බිලියන 179ක අගය පසු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට සහාය ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. කොවිඩ්-19 හේතුවෙන්  බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීම/ ප්‍රතිලේඛනගත කිරීම මෙම යෝජනා ක්‍රම වලට ඇතුළත් විය.

සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණය, කාර්ය සම්පාදන සේවා සැපයුම්කරුවන්, ත්‍රිරෝද රථ හිමිකරුවන්, පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්, ලොරි රථ, කුඩා භාණ්ඩ ප්‍රවාහන රථ හා බස් රථ වැනි බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයකට සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම සහන බෙහෙවින් උපකාරී වී ඇත.  

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ගොනු කළ රිට් පෙත්සම (CA Writ 417/2021) අද  අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, කිසිදු නඩු නිමිත්තක්  නොමැතිවීමේ පදනම මත අභියාචනාධිකරණය විසින් එම පෙත්සම විභාගයට ගැනීම  ප්‍රතික්ෂේප කරන ලදී.

අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව හිටපු ජනාධිපති අපේක්ෂකයකු වූ ආරියවංශ දිසානායක විසින් ගොනු කළ රිට් පෙත්සමද, ඔහු විසින් පසුගිය සතියේ ඉල්ලා අස්කර ගනු ලැබීය.

ශ්‍රී ලංකා මහ බැංකුව විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තවේන්තුව ස්ථාපිත කරයි

ආසන්න වශයෙන් 100% ක දේශීය අගය එකතු කිරීමකින් සමන්විත වන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම්වල ප්‍රධාන මූලාශ්‍රයක් වන සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, රටේ විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දෙයි. පසුගිය දශක දෙක තුළ දී වාර්ෂික වෙළෙඳ ගිණුමෙහි හිඟයෙන් 80% ක් පමණ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවලින් ආවරණය වී ඇති අතර, රට තුළට විදේශීය ප්‍රේෂණ ගලා ඒම ශක්තිමත් වීම මගින් විධිමත් බැංකු පද්ධතිය තුළට විදේශ විනිමය ගලා ඒම් සුමට වීම සහ ආදායම හා ප්‍රාදේශීය විෂමතාවන් අවම වීම යනාදී සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් ජනිත වේ.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 තෙවන කාර්තුව තුළදී මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 ජූලි 01 සිට 2021 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 2.0 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේදී සියයට 7.6 දක්වා ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 ඔක්තෝබර්  මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 10.0හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 12.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 3.8හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.4 දක්වා ඉහළ ගියේය.

Pages