ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙත පණිවුඩයක්

කොවිඩ්-19 වසංගතයේ දිගු කාලීන බලපෑම, ගෝලීය දේශපාලනික අසමතුලිතතා සහ රටේ සාර්ව ආර්ථික අසමතුලිතතා හේතුවෙන්, මේ වන විට ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික සහ මූල්‍ය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින අතර එමගින් රටේ ජනතාව අසීරු තත්ත්වයකට පත් ව ඇත. මෙරටෙහි ණය වගකීම් සක්‍රීය ව කළමනාකරණය කිරීමට පියවර ගැනීම, අනෙකුත් රටවලින් කඩිනම් මූල්‍ය සහාය සෙවීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ වැඩසටහනක් සඳහා පවතින සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට ලැබීම ඇතුළු ව රටේ පවතින වත්මන් තත්ත්වය සඳහා පිළියම් යෙදීමට බලධාරීන් පියවර ගනිමින් සිටිය ද, ජනතාවට එවැනි ක්‍රියාමාර්ගවලින් වන ධනාත්මක බලපෑම් භුක්ති විඳිය හැකි වනුයේ මැදි කාලීන හා දිගු කාලීනව ය. එබැවින්, ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය ආනයන අවශ්‍යතා සපුරා ගනු පිණිස රටේ විදේශ සංචිත තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතු ය. 

මෙවන් පසුබිමක, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සඳහා බෙහෙවින් අවශ්‍ය වී පවතින විදේශ විනිමය පරිත්‍යාග කිරීම මගින් මෙම තීරණාත්මක අවස්ථාවේ මව්බිමට සහාය ලබා දීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් තම කැමැත්ත පළ කිරීමට ඉදිරිපත් වීම ශ්‍රී ලංකා මහ බැංකුව සාදරයෙන් පිළිගනියි.

සහාය ලබා දීමට අපේක්ෂා කරන පුද්ගලයන් හට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අර්ථලාභී හිමිකාරිත්වය දරනු ලබන බැංකුවල පවත්වා ගෙන යන පහත සඳහන් ගිණුම්වලට විදේශ විනිමය බැර කළ හැකි අතර, එම විදේශ විනිමය ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීම සඳහා පමණක් භාවිත කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වේ. 

ව්‍යවහාර මුදල බැංකුවේ නම ප්‍රතිලාභී ගිණුමේ නම ප්‍රතිලාභී ගිණුම් අංකය වෙනත් තොරතුරු
එ.ජ. ඩොලර්  (USD) Deutsche Bank Trust Company Americas, නිව්යෝර්ක්, ඇමරිකාව ශ්‍රී ලංකා මහ බැංකුව 04015541 SWIFT: BKTRUS33XXX
යුරො (EUR) ODDO BHF Bank - Frankfurt Am Main ජර්මනිය ශ්‍රී ලංකා මහ බැංකුව 0000739854 SWIFT: BHFBDEFF500
ස්ටර්ලින් පවුම් (GBP) Bank of Ceylon (UK) LTD, ලන්ඩන්, එක්සත් රාජධානිය  ශ්‍රී ලංකා මහ බැංකුව 88001249

 

Sort Code :40-50-56

IBAN :

GB89BCEY40505688001249

SWIFT: BCEYGB2LXXX

මේ සඳහා සහාය ලබා දෙන්නන් තම ගෙවීම් තහවුරු කිරීමෙහි ඡායාරූපයක් බැංකු සැසඳුම් සඳහා fdacc@cbsl.lk වෙත එවන මෙන් ඉල්ලා සිටින අතර, ඒ් පිළිබඳ ඕනෑම විමසීමක් එම විද්‍යුත් තැපෑල ඔස්සේ ම සිදු කළ හැකි ය. ගනුදෙනුව තහවුරු කිරීමෙන් පසු, සෑම ගෙවීමක් ම විද්‍යුත් තැපෑල ඔස්සේ දැනුම් දෙනු ලැබේ. 

එවැනි විදේශ විනිමය සම්පත් රැස් කිරීමේ සහ භාවිතයේ විනිවිදභාවය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාජිකයන් තිදෙනෙකුගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කොට ඇති අතර, එම කමිටුව විසින් සෑම කාර්තුවක දී ම  සහාය ලබා දෙන්නන්ගෙන් ලැබෙන විදේශ විනිමය පිළිබඳ මූල්‍ය ප්‍රකාශන cbsl.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලැබේ. තව ද, මෙම ගිණුම්වලට අරමුදල් ලැබීම් සහ ඒවායෙහි භාවිතය කාලීන ස්වාධීන විගණනයකට යටත් වේ.

සටහන: 2022.04.12 දින ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ පළ වූ පණිවුඩය ඉහත පණිවුඩයෙන් ප්‍රතිස්ථාපනය වේ.

 

Published Date: 

Wednesday, April 13, 2022