2025 වසරේ නොවැම්බර් මාසයේ සිට පැවති මාසික විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයන් වාර්තා කිරීමේ ප්‍රවණතාවය තවදුරටත් පවත්වාගෙන යමින්, 2026 වසරේ පෙබරවාරි මාසයේ දී ද විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලර් මිලියන 487ක සමුච්චිත අතිරික්තයක් වාර්තා විය.
2026 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ඉහළ ගියේය. තවද, 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළ දී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 1.1ට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 1.4ක් දක්වා පුළුල් විය.
පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2026 වසරේ පෙබරවාරි මාසය තුළ දී එ.ජ. ඩොලර් මිලියන 194ක් වූ අතර 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය සඳහා රථ වාහන ආනයන මුළු වියදම එ.ජ. ඩොලර් මිලියන 418ක් විය.
ආනයන මිල ගණන් පහළ යාම ඉක්මවා අපනයන මිල ගණන් පහළ ගිය බැවින්, 2026 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළඳ මිල අනුපාතය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළ ද වෙළඳ මිල අනුපාතය පෙර වසරට සාපේක්ෂව පහළ ගියේය.
සංචාරක ඉපැයීම් ඇතුළු ප්‍රධාන සේවා කාණ්ඩ වෙත වූ ලැබීම් අඩුවීමට අමතරව විදේශ සංචාර ආශ්‍රිත ගෙවීම් ඉහළ යෑම හේතුවෙන් සේවා ගිණුමේ අතිරික්තය 2026 වසරේ පෙබරවාරි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 16.7කින් අඩු විය.
සංචාරක පැමිණීම් 2026 වසරේ පෙබරවාරි මාසයේ දී මාසික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනයක් වාර්තා කළ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 16.3ක වර්ධනයක් වාර්තා කළේය. 2026 වසරේ පෙබරවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 352ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළ දී සමුච්චිත ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 730ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 4.9කින් පහළ ගියේය.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මෑත මාසවල දී නිරීක්ෂණය වූ ධනාත්මක ප්‍රවණතාවය 2026 වසරේ පෙබරවාරි මාසයේ දී ද පැවතුණි. සමුච්චිත වශයෙන්, වසරේ මුල් මාස දෙක තුළ දී ප්‍රේෂණ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 32.0ක වර්ධනයක් වාර්තා කළේය.
2026 වසරේ පෙබරවාරි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත එ.ජ. ඩොලර් මිලියන 53ක ශුද්ධ ලැබීමක් වාර්තා වූ අතර, ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළඳපොළෙහි එ.ජ. ඩොලර් මිලියන 30ක ශුද්ධ ගෙවීමක් වාර්තා විය.
2026 වසරේ පෙබරවාරි මස අග වන විට, චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 7.3ක් විය. අඛණ්ඩ විදේශ ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුවද මහ බැංකුව විසින් සිදු කළ ඉහළ විදේශ විනිමය මිලදී ගැනීම් දළ නිල සංචිත ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.
2026 වසරේ පෙබරවාරි මස අග භාගයේ දී මැද පෙරදිග ගැටුම් ආරම්භයෙන් පසුව විදේශීය අංශය වෙත වූ පීඩනයන් පිළිබිඹු කරමින් 2026 වසරේ මාර්තු මස අග වන විට, එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය විය.








