කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 මාර්තු මාසයේ දී ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 1.6ට සාපේක්ෂව 2026 මාර්තු මාසයේ දී සියයට 2.2ක් ලෙස වාර්තා විය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 0.2හි සිට 2026 මාර්තු මාසයේ දී සියයට 0.7 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 2.3හි සිට 2026 මාර්තු මාසයේ දී සියයට 2.9 දක්වා ඉහළ ගියේය.

මාසික පදනම මත, කොළඹ පාරිභෝගික මිල දර්ශකය 2026 මාර්තු මාසයේ දී සියයට 0.25ක ඉහළ යෑමක් වාර්තා කළේය. මෙම ඉහළ යෑම සඳහා ආහාර නොවන කාණ්ඩය ප්‍රතිශතාංක 0.52කින් දායක වූ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රවාහන උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑම හේතු විය. ආහාර කාණ්ඩය මෙම වැඩිවීමට ප්‍රතිශතාංක -0.27කින් දායක විය.

මේ අතර, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන මූලික උද්ධමනය ද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2026 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 2.1හි සිට 2026 මාර්තු මාසයේ දී සියයට 2.5 දක්වා ඉහළ ගියේය.

2026 වසරේ පළමු කාර්තුව සඳහා වාර්තා වූ කාර්තුමය සාමාන්‍ය මතුපිට උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ මෑතකාලීන උද්ධමන පුරෝකථන සමඟ පුළුල් ලෙස අනුකූල වේ. පවතින භූ-දේශපාලනික අවිනිශ්චිතතා මධ්‍යයේ, නවතම දත්ත සහ උපකල්පන මත පදනම්ව 2026 මාර්තු මාසයේ දී පැවති මුදල් ප්‍රතිපත්ති වාරයේදී සිදු කරන ලද උද්ධමන පුරෝකථන මගින්, කලින් අපේක්ෂා කළාට වඩා පෙර, 2026 වසරේ දෙවන කාර්තුවේ දී උද්ධමනය සියයට 5ක ඉලක්කය කරා ළඟා වනු ඇතැයි පෙන්නුම් කරයි. ඉන් අනතුරුව, සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, උද්ධමනය ඉලක්කගත මට්ටම වටා ස්ථායීව පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ.

PDF

Published Date: 

Tuesday, March 31, 2026