Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ආර්ථික දැක්ම පිළිබඳව මහ බැංකු අධිපතිවරයා පළ කළ අදහස් වැරදි ලෙස වාර්තා කිරීම සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීම

පසුගිය දිනක පැවති මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද අදහස් නිවැරදි නොවන ලෙස අර්ථකථනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පැහැදිලි කිරීම සිදු කරයි. එම මාධ්‍ය වාර්තාවලට අනුව ‘ඉදිරි කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය දැනට පවතින තත්ත්වයටත් වඩා දුෂ්කර වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා අපේක්ෂා කරන බව’ සඳහන් කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක් වේ. අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාද වුවහොත් හෝ අරමුණුවලින් බැහැරව කටයුතු කළහොත් ඉදිරි කාලය තුළ ආර්ථිකයට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලද අතර එම සමස්ත කරුණුවලින් බැහැරව අධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද අදහස් පිළිබඳ මෙලෙස සාවද්‍ය ලෙස අර්ථකථනය කර ඇත. 2022 වසරේදී ඇති වූ පෙර නොවූ අන්දමේ සමාජ-ආර්ථික අර්බුදවලට සාපේක්ෂව රජය සහ මහ බැංකුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද දුෂ්කර හා අසීරු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ආර්ථික තත්ත්වයන් ස්ථායී කිරීමට හේතු වී ඇති බව අධිපතිවරයාගේ අදහස විය.

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 03-2023 අප්‍රේල්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 අප්‍රේල් මස 04 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 15.50 සහ සියයට 16.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම ක්‍රියාත්මක වීමත් සමග වෙළඳපොළ අපේක්ෂා වැඩිදියුණු වීම මෙන්ම අඩු වෙමින් පවතින අවදානම් පිළිබිඹු කරමින් ඉහළ මට්ටම්වල පැවති වෙළඳපොළ පොලී අනුපාතික පහළ යෑම මධ්‍යයේ මෑත කාලීන හා අපේක්ෂිත ආර්ථික ප්‍රවණතා සහ දේශීය හා ගෝලීය වශයෙන් පවතින සාර්ව ආර්ථික පුරෝකථන සැලකිල්ලට ගෙන දැනට පවතින නිර්-උද්ධමන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට පහසුකම් සැලසීම සඳහා මුදල් තත්ත්ව ප්‍රමාණවත් ලෙස දැඩිව පැවතීම සහතික කිරීමට පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වාගෙන යෑම අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 මාර්තු මාසයේ දී තවදුරටත් පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 50.6හි සිට 2023 මාර්තු මාසයේ දී සියයට 50.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද 2023 වසරේ දී උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 පෙබරවාරි

2023 වසරේ පෙබරවාරි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන ආදායමෙහි අඩු වීමට සාපේක්ෂව ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහළ ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟයෙහි සැලකිය යුතු පහළ යෑමක් වාර්තා විය.

2023 වසරේ පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් අඛණ්ඩව වර්ධනය විය.

මෑත මාසවලට සාපේක්ෂව 2023 වසරේ පෙබරවාරි මාසය තුළ දී දළ නිල සංචිත තවදුරටත් ශක්තිමත් විය.

විනිමය අනුපාතිකය තීරණය කිරීමේ දී ඉහළ නම්‍යශීලීභාවයකට ඉඩ හැරීමෙන් පසුව 2023 වසරේ මාර්තු මාසයේ දී විනිමය අනුපාතය සැලකිය යුතු ලෙස  අතිප්‍රමාණය විය.

2023 වසරේ පෙබරවාරි මාසයේ දී කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ විදේශ ආයෝජනයන්හි ශුද්ධ ලැබීම් වාර්තා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එ.ජ.ඩො. බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකම අනුමත වූ අතර එහි පළමු වාරිකය 2023 වසරේ මාර්තු මාසයේ දී ලබා දෙන ලදී.

2023.03.30 දින මංගතව පැවැත්වූ ආයෝජක ඉදිරිපත් කිරීමෙන් පසු මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) විසින් එම අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලත් ඩොලර් බිලියන 7ක අරමුදලක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ජා.මූ.අ වැඩසටහන 2023 මාර්තු 20 වන දින අනුමත කරන ලදී. මෙම ජා.මූ.අ වැඩසටහන, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පැහැදිලි පෙර දැක්මක් සපයන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරමින්, රටට තම වර්ධන හැකියාව යළි ලබා ගැනීමටත්, එහි ආර්ථික අවදානම් සහගත තත්ත්වයන් සඳහා පිළියම් යෙදීමටත් ඉඩ සලසනු ඇත. 

අද දින අපි ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික තත්ත්වය විස්තර කිරීමට සහ ජා.මූ.අ. වැඩසටහනෙහි ප්‍රධාන ආධාරකයන් සහ අරමුණු මෙන්ම, ණයහිමියන් සමඟ කටයුතු කිරීම සම්බන්ධව පැහැදිලි කිරීමට ආයෝජක ඉදිරිපත් කිරීමක් පැවැත්වූවෙමු. 

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ ඇති අවදානම

ක්‍රිප්ටෝ මුදල් (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි. ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයකි. මෙම ක්‍රිප්ටෝ මුදල්, ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) හෝ ඒ හා සමාන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාවට නංවන, වටිනාකම් පිළිබඳ ඩිජිටල් නිරූපණයක් ලෙස හැඳින්විය හැකිය. ක්‍රිප්ටෝ මුදල් ලාභදායි ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයින් සහ ව්‍යාපාර විසින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන බව නිරීක්ෂණය වී ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෑතකාලීනව ලැබුණු පැමිණිලිවලින් පෙනී යන්නේ එසේ සිදුකරනු ලැබූ ආයෝජනවලින් මහජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදු වී ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවන් වලට හසු වී ඇති බවත්ය.

Pages