කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී තියුණු ලෙස පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 5.9හි සිට 2024 මාර්තු මාසයේ දී සියයට 0.9 දක්වා තියුණු ලෙස පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

ආහාර නොවන කාණ්ඩය 2024 පෙබරවාරි මාසයේ වාර්තා කළ සියයට 7.0ක වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට සාපේක්ෂව 2024 මාර්තු මාසයේ දී සියයට 0.5ක අවධමනයක් වාර්තා කළේය. කෙසේ වුවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.5හි සිට 2024 මාර්තු මාසයේ දී සියයට 3.8 දක්වා ඉහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.66ක මිල පහළ යෑම් සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 1.28ක මිල පහළ යෑම් හේතුවෙන් 2024 මාර්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට -1.94ක් ලෙස වාර්තා විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2024 පෙබරවාරි මාසයේ පැවති සියයට 2.8හි සිට 2024 මාර්තු මාසයේ දී සියයට 3.1 දක්වා ඉහළ ගියේය.

ඇතැම් අවස්ථාවන්හීදී යම් විචලනයන් සිදුවිය හැකි වුවද, උද්ධමනය ඉදිරි කාල සීමාව තුළ දී ඉලක්කගත මට්ටමට ළඟා වී, සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, මැදිකාලීනව උද්ධමන ඉලක්කය ආසන්නයේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, March 28, 2024