මෑතක දී සිදු කළ වැටුප් සංශෝධනය පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය යළි සලකා බලයි

පාලක මණ්ඩලය සහ මහ බැංකු වෘත්තීය සමිති නියෝජිතයන් අතර පවතින සාමූහික ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 – 2026 කාල පරිච්ඡේදය සඳහා මෑතක දී සිදු කළ වැටුප් සංශෝධනය මහජනයා අතර වඩාත් කතා බහට ලක් විය.

මෙම තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ මහ බැංකු වෘත්තිකයන්ගෙන් බහුතරයක් සිය වැටුප් සංශෝධනය සලකා බැලීම සඳහා සාමූහික තීරණයකට එළඹුණහ. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් ස්වාධීන නිර්දේශ ඉදිරිපත් කිරීමට පෙර, 2024 මාර්තු 16 වන දින මෙම තීරණය එම කාරක සභාව වෙත දන්වන ලදී.

මේ අතර රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති විසින් මහ බැංකු කාර්යමණ්ඩලයේ වැටුප් ඉහළ නැංවීම සඳහා ඇති මෙම සාමූහික ගිවිසුම ස්වාධීන කමිටුවක් මගින් සමාලෝචනය කළ යුතු බවට නිර්දේශ කර ඇති අතර ඊට මහ බැංකුවේ සියලු ම සේවක කාණ්ඩ ඇතුළත් වනු ඇත.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය උසුලනු ලබන ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, මින් පෙර 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ සහ වර්තමානයේ දී  2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ ඊට පැවරුණු බලතල ප්‍රකාර ව ස්වාධීන ව කටයුතු කරයි. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වා ගෙන යෑම මෙන්ම රටේ මූල්‍ය පද්ධති ස්ථායීතාව සුරක්ෂිත කිරීමේ වගකීම දරනු ලබයි. 

මෙම තීරණාත්මක ජාතික නියෝගය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පළපුරුදු වෘත්තීමය කාර්යමණ්ඩලයක් සේවයේ යොදවා ඇති අතර, එහි පූර්ණ ධාරිතාවෙන් ක්‍රියා කිරීම සඳහා දැනට සේවය කරන පළපුරුදු කාර්යමණ්ඩලය මහ බැංකුව තුළ රඳවා ගැනීමේ අරමුණින් මෑතක දී මෙම වැටුප් සංශෝධනය සිදු කරන ලදී.

Published Date: 

Saturday, March 23, 2024