ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 මාර්තු මස 25 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.50 සහ සියයට 9.50 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට තීරණය කළේය. ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙම තීරණයට එළැඹීමේදී, අඩු මට්ටමක පවතින සමස්ත ඉල්ලුම් තත්ත්ව, උද්ධමනය මත බදු ව්‍යුහයේ මෑත කාලීනව සිදු කළ වෙනස්කම්වල බලපෑම අපේක්ෂිත මට්ටමට වඩා අඩු වීම, මෑතකාලීනව විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් හිතකර නුදුරු කාලීන උද්ධමන ප්‍රවණතා, මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා, විදේශීය අංශයේ අධික පීඩන නොමැති වීම සහ වෙළඳපොළ පොලී අනුපාතිකවල පහළ යෑම අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව යනාදිය පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කළේය. ඉදිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරකම් විභව නිමවුම් මට්ටමට වඩා අඩු මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් නුදුරු කාලීනව උද්ධමනය ඉහළ යෑම සඳහා පවතින අවදානම් මගින් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්මෙහි සැලකිය යුතු වෙනස්කමක් සිදු නොවනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. ඉදිරි කාලයේදී වෙළඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය වීම වේගවත් කරමින් මූල්‍ය ආයතන විසින් වෙළඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික වෙත ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කඩිනමින් හා පූර්ණ ලෙස සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, March 26, 2024