Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, 2023 ජූලි 11 සිට 14 දක්වා කැනඩාවේ වැන්කුවර් නගරයේ පැවති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ වාර්ෂික සැසිය සඳහා සහභාගී වෙයි

2023 ජූලි 11 සිට 14 දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවති, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 2023 වාර්ෂික සැසිය සහ තාක්ෂණික සහාය සහ පුහුණු (TA&T) සැසිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ,මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැලැක්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වශයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග සහභාගී විය. ලාඕසය, නේපාලය සහ බෲනායි යන රටවල් තුනෙහි අන්‍යෝන්‍ය ඇගයීම් සඳහා සහභාගී වූ ශ්‍රි ලාංකික නිලධාරීන්ගෙන් එම නියෝජිත පිරිස, සමන්විත විය. එම වාර්ෂික සැසිය සදහා ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සාමාජික රටවල් 42 ක නියෝජිතයින් 300 කට අධික සංඛ්‍යාවක් මෙන්ම අනෙකුත් නිරීක්ෂකයින් සහ පුද්ගලික අංශයේ පාර්ශවකරුවන් එක් වූ අතර, එහිදී මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළු බරපතල මූල්‍ය අපරාධ හා සමුලඝාතක අවි මුල්‍යනය සම්බන්ධ තීරණාත්මක ගැටළු සාකච්ඡා කරන ලදී .

2023 ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමෙහි සම මුලසුන දරන ලද්දේ කැනඩාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සහකාර නියෝජ්‍ය මුදල් අමාත්‍ය ජුලියන් බ්‍රාසීහු (Julien Brazeau) සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් ඉයන් මැකාර්ට්නි (Ian McCartney) විසිනි.

ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ යම් සීමා කිරීම්/අත්හිටුවීම් ලිහිල් කරමින් නව නියෝග නිකුත් කිරීම

ගරු මුදල් අමාත්‍යවරයා විසින් විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට සහය වීම සහ රටතුළ පවතින විදේශ විනිමය සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ 2020.04.02 දින සිට වරින් වර ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් තාවකාලිකව සීමා කිරීම්/අත්හිටුවීම් සඳහා නියමයන් නිකුත් කරන ලදී.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් සහ ජාත්‍යන්තර ගනුදෙනු වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමේ අරමුණින් ගරු මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිත ව විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කර ඇත. මෙම නියමය මගින් ප්‍රාග්ධන ගනුදෙනු වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරිීම මත පනවා තිබූ යම් යම් සීමා කිරීම්/අත්හිටුවීම් ලිහිල් කිරීම සහ විගාමිකයන්ගේ වර්තන ගනුදෙනු මත පනවා තිබූ සීමා කිරීම් ඉවත් කර ඇති අතර, පෙර නිකුත් කරන ලද නියමය යටතේ පනවා තිබූ අනෙකුත් සීමා කිරීම්/අත්හිටුවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇත. නව නියමය 2023.06.28 දින සිට මාස හයක (06) කාලයක් සඳහා වලංගු වේ. මෙම ලිහිල් කිරීම් පිළිබඳ සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සඳහා මුදල් විශුද්ධිකරණයට එරෙහි අනුකූලතා වගකීම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා වගකීම් සහ නව ප්‍රවණතාවයන්” යන මැයෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2023 ජූලි 04 වන දින සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒම්. තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාර්ඩ් ඩීන් මහතා සහ ලංකා මැණික් අලෙවිකරුවන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපති යූ. ජී. චන්ද්‍රසේන මහතා ඇතුළුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන්නන් සියයකට අධික පිරිසක් සහභාගී විය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - ජූනි 2023

2023 ජුනි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් ද පෙන්නුම් කරන ලදී.

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය, නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසුබෑම පෙන්නුම් කරමින් 2023 ජුනි මාසයේ දී 47.3ක දර්ශක අගයක් වාර්තා කරන ලදී. මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ මන්දගාමී ක්‍රියාකාරීත්වය හේතු විය.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2023 ජුනි මාසයේ දී 56.7ක දර්ශක අගයක් දක්වා තවදුරටත් ඉහළ ගිය අතර, එය 2022 ජනවාරි මාසයේ සිට වාර්තා වූ ඉහළම අගය විය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, ජුනි මාසය තුළ දී නිමකිරීමට නියමිත කාර්යයන් අඛණ්ඩව පහළ ගිය අතර, සේවා නියුක්තිය නොවෙනස්ව පැවතුනි.

ශ්‍රී ලංකා මහ බැංකුව “ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම” මැයෙන් පත්‍රිකාවක් නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා  මහ බැංකුව විසින් “ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම” පිළිබඳ පත්‍රිකාවක් භාෂා තුනෙන්ම නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනය, ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් සන්නිවේදන උපාය මාර්ගයේ කොටසක් ලෙස, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ තාක්ෂණික කරුණු පිළිබඳ සරල සාකච්ඡාවක් ඉදිරිපත් කරන අතර, විවිධ පාර්ශ්වකරුවන්ට මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, මුදල් උපකරණ සහ සම්ප්‍රේෂණය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙන්ම, සාමාන්‍ය ජනතාව අතර මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳ වැරදි වැටහීම් ඉවත් කිරීමට ද මෙම පත්‍රිකාව උපකාරී වනු ඇත.

මහ බැංකුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී මුදල් ප්‍රතිපත්තියේ කාර්යභාරය, ද්‍රවශීලතා කළමනාකරණය සහ ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කිරීම තුළින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ මුදල් සම්ප්‍රේෂණ යාන්ත්‍රණය පිළිබඳ සාකච්ඡාවක් මෙම පත්‍රිකාවේ අඩංගු වේ. මේ අනුව, මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන අයට ප්‍රයෝජනවත් සහ විශ්වසනීය මූලාශ්‍රයක් වනු ඇත. 

මුදල් හුවමාරු කරන්නන් පහළොස් දෙනෙකු (15) වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අලුත් නොකිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පහත නම් සඳහන් කර ඇති මුදල් හුවමාරු කරන්නන් පහළොස් දෙනා වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අළුත් නොකිරීමට තීරණය කරන ලද අතර එය 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් සිදුකරන ලදී. තවද එය 2023.02.22 වන දින ඔවුන් වෙත දැනුම් දෙන ලදී.

Pages