කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 6.4හි සිට 2024 පෙබරවාරි මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2024 පෙබරවාරි මාසයේ දී සියයට 3.5 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2024 ජනවාරි මාසයේ පැවති සියයට 7.9හි සිට 2024 පෙබරවාරි මාසයේ දී සියයට 7.0 දක්වා පහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.67ක මිල පහළ යෑමේ සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.62ක මිල ඉහළ යෑමේ ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2024 පෙබරවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට -0.05ක් ලෙස වාර්තා විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2024 ජනවාරි මාසයේ පැවති සියයට 2.2හි සිට 2024 පෙබරවාරි මාසයේ දී සියයට 2.8 දක්වා ඉහළ ගියේය.

පුළුල්ව සැලකීමේ දී, ප්‍රධාන වශයෙන් 2024 ජනවාරි මාසයේ දී සිදු කරන ලද බදු සංශෝධන හේතුවෙන් නුදුරු කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමට වඩා ඉහළින් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා සහ සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහය ඇතිව උද්ධමනය ඉදිරි කාලයේ දී සියයට 5ක ඉලක්කගත මට්ටමෙහි ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, February 29, 2024