Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2024 අංක 24 දරන බැංකු (සංශෝධන) පනත ක්‍රියාත්මක කිරීම

2024 අංක 24 දරන බැංකු (සංශෝධන) පනතේ විධිවිධාන 2024.06.15 දින සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී. ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම උදෙසා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (බලපත්‍රලාභී බැංකු) සඳහා අදාළ වන නීතිමය සහ නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංශෝධන සකස් කරන ලදී.

බැංකු ව්‍යාපාරයෙහි නියුතු පුද්ගලයන්ට බලපත්‍ර ලබාදීමේ ක්‍රියාපටිපාටියක් හඳුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීමත්, බැංකු ව්‍යාපාරයට අදාළ කරුණු නියාමනය කිරීම සහ පාලනය කිරීමත් සලසනු ලබන බැංකු පනත අවසන් වරට සංශෝධනය කරනු ලැබුවේ 2006 වසරේ දීය. එබැවින්, වත්මන් නියාමන රාමුවෙහි වර්ධනයන්, ආර්ථික සහ වෙළඳපල වර්ධනයන්, විචක්ෂණ අවශ්‍යතාවන් පිළිබඳ යහභාවිතයන් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්, දේශීය බැංකු අංශය සඳහා උචිත පරිදි සැලකිල්ලට ගනිමින් මෙම මෑත කාලීන සංශෝධන සකස් කරන ලදී. ඊට අමතරව, බැංකු පනතට සංශෝධන කෙටුම්පත් කිරීමේදී, අදාළ පාර්ශවකරුවන්ගේ, එනම් බැංකු අංශය, බැංකුවල විගණන සිදුකරනු ලබන විගණන ආයතන, අනෙකුත් නියාමන ආයතන සහ බලධාරීන්ගේ නිරීක්ෂණ සහ අදහස් ද සුදුසු පරිදි සලකා බලන ලදී.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024 ජනවාරි මස 01 වන දින සිට අප්‍රේල් මස 30 වන දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළ මූල්‍ය ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධාන වලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සදහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2024 ජනවාරි මස 01 වන දින සිට අප්‍රේල් මස 30 වන දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන තුනකි. එලෙස දණ්ඩන මගින් එකතු කරගන්නා ලද මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපතිවරුන් පත් කිරීම

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත,  ගරු මුදල් ඇමතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන් ම පාලක මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කළ ඒ. ඒ. එම්. තාසිම් මහතා 2024 ජූනි 20 වන දා සිට ද  සහකාර අධිපතිවරයෙකු වූ ජේ. පී. ආර්. කරුණාරත්න මහතා 2024 ජූනි 24 වන දා සිට ද නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත.

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සහ බහරේන් රාජ්‍යයේ මූල්‍ය බුද්ධි ජාතික මධ්‍යස්ථානය අවබෝධතා ගිවිසුමකට එළැඹීම

මුදල් විශුද්ධිකරණය හා ඒ ආශ්‍රිත මූලික වැරදි සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ වරද සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2024 ජූනි 04 වන දින ප්‍රංශයේ පැරිස් නුවර පැවති එග්මන්ට් කණ්ඩායම් සමුළුවේ දී, බහරේන් රාජ්‍යයේ මූල්‍ය බුද්ධි ජාතික මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම අවබෝධතා ගිවිසුමට එළැඹෙන ලදී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - 2024 මැයි

2024 මැයි මාසගේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා ගේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ගපන්නුම් කරයි

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මැයි මාසගේ දී දර්ශකාංක 58.2ක් වාර්තා කරන ලදී. සේවා නියුක්තිය හැර අසෙකුත් සියලුම උප දර්ශක, මාසය තුළ දී කඩයිම් මට්ටමට වඩා ඉහළ ගිය අතර, එහි ප්‍රිඵලයක්ත සලස සමේත දර්ශකය ද ඉහළ ගිසේය.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, එනම් ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය, 2024 මැයි මාසයේ දී දර්ශකාංග  55.0ක් වාර්තා කරමින් සේවා ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කළේය. 

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

මුදල් විශුද්ධිකරණය, අල්ලස් හෝ දූෂණ සහ ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම් සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා ද, මූල්‍ය බුද්ධි ඒකකය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය ද අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා මෙම අවස්ථාවේ මුලසුන හෙබවීය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ. ඒ. එම්. එන්. දවුලගල මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය.

Pages

නිවේදන