2017 වසර අභියෝගාත්මක වසරක් විය. අයහපත් කාලගුණික තත්ත්ව සමස්ත ආර්ථිකය කෙරෙහි බලපෑම් ඇති කළ අතර පැවැති නියං සහ ගංවතුර තත්ත්වයන්ගෙන් කෘෂිකාර්මික කටයුතු සහ කෘෂි නිෂ්පාදිත පදනම් කර ගත් කර්මාන්ත කටයුතුවලට බාධා ඇති විය. අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් ඇති වූ බලපෑම ආර්ථිකයේ අනෙකුත් අංශ කෙරෙහි ද අයහපත් ලෙස බලපෑ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ ආර්ථික වර්ධනය වසර ආරම්භයේ දී අප පුරෝකථනය කළ මට්ටමට වඩා පහළ සහ අඩු අගයක් ගනු ඇතැ යි අපේක්ෂා කෙරේ. සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ළඟා කර ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක කළ මහ බැංකුවේ දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මෙන් ම රජය මගින් ක්‍රියාත්මක කිරීමට යෙදුණු සාපේක්ෂ වශයෙන් දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන වියදම් කෙරෙහි යම් තාක් දුරට බලපෑ අතර එය ද ආර්ථික වර්ධනය මන්දගාමී වීමට හේතු විය. උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට අප දරන උත්සාහයන් අභියෝගයට ලක් කරමින් කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම මගින් දේශීය සැපයුම්වලට ඇති වූ බාධා හේතුවෙන් ආහාර මිල ඉහළ යෑම, වක්‍ර බදු සඳහා වූ සංශෝධන සහ ආනයනික වෙළෙඳ භාණ්ඩවල මිල ඉහළ යෑම හේතු කොට ගෙන පාරිභෝගික මිල උද්ධමනය ඉහළ ගියේ ය.