ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 70.3ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසයේ දී වාර්තා වූ ඉතා ඉහළ දර්ශක අගයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් මෙමගින් පිළිබිඹු වෙයි. ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ලැබීම සහ යහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බොහෝ ඉදිකිරීම් සමාගම් විසින් පෙබරවාරි මාසයේ දී ඉදිකිරීම් අංශයේ යහපත් තත්ත්වයක් වාර්තා කරන ලදී.
සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති ලබා ගැනීමේ හැකියාව වැඩි වූ බව වාර්තා කළ බැවින් නව ඇණවුම් දර්ශකය මෙම මාසය තුළ තව දුරටත් වර්ධනය විය. නව ව්‍යාපෘති ලබා ගැනීමේ හැකියාව ඉදිරියටත් පවතිනු ඇති බවට වන අපේක්ෂාවන් පිළිබිඹු කරමින් සේවා නියුක්ති දර්ශකය ඉහළ වේගයකින් වර්ධනය විය. ඉහළ ගිය ඉදිකිරීම් ක්‍රියාකාරකම් අනුව යමින් තොග මිලදී ගැනීම් දර්ශකය ද වර්ධනය විය. මේ අතර, ඉදිකිරීම් කටයුතු සඳහා ඇති ඉහළ ඉල්ලුම සහ චීන අලුත් අවුරුදු සැමරුම් ආශ්‍රිත ආනයන ප්‍රමාදයන් පිළිබිඹු කරමින් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මාසය තුළ තවදුරටත් වැඩි විය.
ඉදිකිරීම් ව්‍යාපෘති ඉදිරියටත් පවතිනු ඇතැයි අපේක්ෂාවෙන් ඉදිකිරීම් කටයුතු සඳහා ඉදිරි දැක්ම ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත්, මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යෑම සහ සැපයුම් බාධාවන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් පිළිබඳව ඉදිකිරීම් සමාගම් සිය අවධානය යොමුකර ඇත.








