Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ප්‍රාථමික අලෙවිකරුවෙකු මත ගනු ලබන නියාමන ක්‍රියාමාර්ගය - පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී, ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 අගෝස්තු මස 15 වැනි දින පෙ.ව. 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.

මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට සහභාගි වීමට පෑන් ඒෂියා බැංකුවට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. කෙසේ වෙතත්, මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක් ඇති නොවේ.

මුදල් මණ්ඩල සාමාජිකාවක ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය පත් කරයි

ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය 2019 ජූලි 29 වන දා සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකාවක ලෙස පත් කර ඇත.

සිය ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු 1994 දී ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය හා සම්බන්ධ වී දැනට එහි විධායක අධ්‍යක්‍ෂවරියක සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන දුෂ්නි වීරකෝන් මහත්මිය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කලාපීය වෙළෙඳ ඒකාබද්ධතාව සහ ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳ ලිපි රැසක් ලියා පළ කොට ඇත.

විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිත කිරීමේ දී අනුගමනය කළ යුතු ආරක්ෂක පිළිවෙත්

විද්‍යුත්  ගෙවීම් ක්‍රම මගින් තම ජංගම හා ඉතුරුම් ගිණුම්වල ඇති අරමුදල් තත්කාලීන ලෙස හුවමාරු කිරීමට හැකි වීම මෙන් ම කාඩ්පත් ගෙවීම් කටයුතු සඳහා භාවිත කිරීමට හැකි වීම ගනුදෙනුකරුවන්ට පහසුවක් වී ඇත. මෙම ගෙවීම් කටයුතු සුමට ව සිදු කිරීම සඳහා සහ ගනුදෙනුකරුවන්ගේ අරමුදල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ  ගෙවීම් ක්‍රම  සහ ගෙවීම් යටිතල පහසුකම් ජාත්‍යන්තර  ප්‍රමිතීන්ට අනුකූල ව ක්‍රියාත්මක වේ. මෙම පහසුකම් අඛණ්ඩ ව භුක්ති විඳීම සඳහා ගනුදෙනුකරුවන් විද්‍යුත්  ගෙවීම් සිදු කිරීමේ දී සුදුසු ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු වේ. ඒ අනුව, ගනුදෙනුකරුවන් තම ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම්, ගෙවීම් කාඩ්පත් හෝ විද්‍යුත්-පසුම්බිවලට (e-Wallet) ප්‍රවේශ වීමට සහ භාවිත කිරීමට යොදා ගනු ලබන රහස්‍ය  තොරතුරු අන් අයට ලබා දීමේ දී ප්‍රවේශම් විය යුතු ය.

2019 ජූනි මස උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන්, 2019 මැයි මාසයේ පැවති සියයට 3.5 හි සිට 2019 ජුනි මාසයේ දී සියයට 2.1 දක්වා පහළ ගියේය. මේ අතර, 2019 ජුනි මාසයේ දී, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට -0.4 හි සහ සියයට 6.7 හි සිට සියයට -2.9 සහ සියයට 6.2 දක්වා පහළ යන ලදී.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2019 ජුනි මාසයේ දී සියයට 2.0 හි නොවෙනස්ව පැවතුණි.

මාසික වෙනස් වීම සලකා බැලීමේදී, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිලගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම් හේතුවෙන්, 2019 ජුනි මාසයේදී ජා.පා.මි.ද. සියයට 0.4 කින් ඉහළ ගියේය. ආහාර කාණ්ඩයෙහි මාළු, ලොකු ළූණු, අමු මිරිස්, රතු ළූණු සහ සහල් මිලගණන්වල ඉහළ යෑම් වාර්තා විය. මීට අමතරව, ආහාර නොවන කාණ්ඩයෙහි ප්‍රවාහන; සහ ආපනශාලා සහ හෝටල් උපකාණ්ඩයන්හි අයිතමවල මිලගණන් ද මෙම මාසය තුළ දී ඉහළ ගියේය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ණය සැපයීම් යොමු කරවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගත් පියවර

මූල්‍ය අංශය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය කඩිනම් කිරීමේ අපේක්ෂාව පෙරදැරිව,  2019 අප්‍රේල් 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් තැන්පතු සඳහා ලබා දෙනු ලබන පොලී අනුපාත පහත දමන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉල්ලීමක් කරන ලදී. එමගින් බලපත්‍රලාභී බැංකු විසින් විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට හා පොදුවේ ණය ලබා දීමේදී අය කරන පොලී අනුපාත පහත හෙලනු ඇතැයිද මූර්ත ආර්ථිකය වෙත ණය ප්‍රවාහ ඉහළ නැංවීමට හැකිවෙතැයි ද අපේක්ෂා කෙරිණි.

ඒ අනුව  බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ඉතිරි කිරීමේ සහ මාස 3 ට අඩු අනෙකුත් තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාත නිත්‍ය  තැන්පතු පහසුකම් අනුපාතය ( SDFR) මත පදනම් වන අතර එයට වඩා වැඩි කාලසීමාවකින් යුතු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාත දින 364 භාණ්ඩාගාර බිල්පත් අනුපාතය මත පදනම් වේ.

2019 මැයි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළඳ හිඟයේ පහළ යෑම හේතුවෙන් 2019 වසරේ මැයි මාසයේදී විදේශීය අංශය සාපේක්ෂ වශයෙන්  ස්ථාවරව  පැවතුණි. 

වෙළඳ හිඟය 2018 වසරේ මැයි මාසයේදී පැවති එ.ජ. ඩොලර් මිලියන 933 සිට 2019 වසරේ මැයි මාසයේදී එ.ජ. ඩොලර් මිලියන 823 ක් දක්වා අඩු විය.

2019 වසරේ මැයි මාසයේදී වෙළඳ හිඟයේ සැලකිය යුතු පහළ යෑම සඳහා ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 3.9 කින් පහළ යෑම සහ අපනයන ඉපැයීම් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 4.0 කින් ඉහළ යෑම  හේතු විය. 

Pages