ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 ඔක්තෝබර්

2019 ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2019 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව දර්ශක අගය 57.6 දක්වා ඉහළ ගිය අතර නිෂ්පාදන සහ නව ඇණවුම් වල සිදුවූ ඉහළ යාම මේ කෙරෙහි ප්‍රධාන වශයෙන්ම හේතු විය.

නිෂ්පාදන සහ නව ඇණවුම් වල සිදුවූ මෙම ඉහළ යාම ඉදිරියේ දී එළඹෙන උත්සව සමයේ ඇතිවිය හැකි ඉල්ලුම සපුරාලීම සඳහා, විශේෂයෙන්ම, ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි ක්‍රියාකාරකම් ඉහළ යාම මගින් නිරීක්ෂණය කළ හැකි විය. මේ අතර, ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි සේවා නියුක්තිය ද ඉහළ යන ලදී. ඉදිරි කාලයේදී එළඹෙන ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ නංවාලීම සඳහා සිදු කරන ලද බඳවාගැනීම් හේතුවෙන් සේවා නියුක්තිය ඉහළ යන ලදී.

තවද, නව ඇණවුම් සහ නිෂ්පාදන වැඩි වේගයකින් වර්ධනය වුව ද, ගැනුම් තොග අඩු වේගයකින් වර්ධනය වීම සඳහා, පසුගිය මාස වල එක්රැස් කරගත් අමුද්‍රව්‍ය තොග ප්‍රධාන වශයෙන් හේතු විය. තවද, ඇණවුමක් සැපැයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය අඩු වේගයකින් වර්ධනය විය.

සලකනු ලැබූ කාල සීමාවේදී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සියලුම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සමස්ත වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, November 14, 2019