ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව දීර්ඝ කරන ලද විස්තීර්ණ ණය පහසුකමට අදාළ හයවන සමාලෝචනය සම්පූර්ණ කරයි

විස්තීර්ණ ණය පහසුකමට අදාළ අරමුදල්වල මීළඟ වාරිකය මුදා හැරීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව විසින් හයවන සමාලෝචනය සාර්ථක ව නිම කරන ලදී.

අවදානම්වලට මුහුණදීමට ඇති හැකියාව වර්ධනය කිරීම සහ ශක්තිමත් හා සාර්ව සහභාගීත්වයකින් යුතු ආර්ථික වර්ධනයනට සහය වීම සඳහා ප්‍රතිපත්ති විනය තිරසාර ව පවත්වා‍ ගැනීම අත්‍යවශ්‍ය වේ.

සමාජ සහ ආයෝජන වියදම් සඳහා අවශ්‍ය අවකාශය සලසා දෙමින් රාජ්‍ය ණය අඩු කිරීම සඳහා රාජ්‍ය ආදායම් රැස් කිරීම සාර්ථක ව සිදු කළ යුතු ව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් දීර්ඝ කරන ලද විස්තීර්ණ ණය පහසුකමට අදාළ ව ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳ හයවන සමාලෝචනය 2019 නොවැම්බර් මස 01 වන දින සම්පූර්ණ කරන ලදී. ප්‍රාථමික ශේෂය පිළිබඳ 2019 ජුනි අවසානය සඳහා වූ කාර්යසාධන නිර්ණායකය සඳහා අනුකූල නො වීම වෙනුවෙන් සහනයක් ලබා දුන් අතර, ඒත් සමග ම හයවන සමාලෝචනය සම්පූර්ණ කරමින් විශේෂ ගැනුම් හිමිකම් මිලියන 118.5ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 164ක් පමණ) වාරිකය මුදා හැරීමට අවකාශය සැලසුණි. ඒ අනුව මෙම පහසුකම යටතේ මේ දක්වා සිදු කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය විශේෂ ගැනුම් හිමිකම් මිලියන 952.23ක් (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.31ක් පමණ) දක්වා ඉහළ යනු ඇත. 

විශේෂ ගැනුම් හිමිකම් බිලියන 1.1ක් පමණ වන (එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක්, එනම් ණය පහසුකම අනුමත වන අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි පවතින කොටසින් සියයට 185ක්) ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම 2016 ජුනි මස 03 වන දින අනුමත කරන ලදී. 2019 මැයි මස 13 වන දින විධායක කමිටුව විසින් මෙම පහසුකම 2020 ජුනි මස 02 වන දින දක්වා තවත් වසරකින් දීර්ඝ කරන ලද අතර ඉතිරි වාරික මුදා හැරීම ඊට අනුකූල ව සිදුකිරීමට නියමිත ය. 

සමාලෝචනය පිළිබඳ විධායක කමිටුවෙහි සාකච්ඡාවෙන් අනතුරු ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ සහ විධායක කමිටුවෙහි වැඩබලන ප්‍රධානි, මිට්සුහිරෝ ෆුරුසාවා (Mitsuhiro Furusawa)  මහතා විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදී:

“පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවල අහිතකර බලපෑමෙන් පසු ව  ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. සංචාරක පැමිණීම් හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් ආර්ථික වර්ධනය 2019 වසරේ සියයට 2.7 සිට 2020 වසරේ දී සියයට 3.5 දක්වා ශක්තිමත් වනු ඇතැයි පුරෝකථනය කෙරේ. දේශීය හා විදේශීය අවිනිශ්චිතතා වර්ධනය වීම මධ්‍යයේ සැලකිය යුතු අවදානම් පැවතීම හේතුවෙන් අවදානම්වලට මුහුණදීමේ හැකියාව වර්ධනය කිරීමට සහ ආර්ථික වර්ධනයට සහය වීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙහි විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.” 

“ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් වූ රාජ්‍ය ආදායම් අඩු වීම අවම කර ගැනීමට සහ වැඩසටහන යටතේ අසීරුවෙන් ළඟා කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම සඳහා බලධාරීන් විසින් පියවර ගනිමින් සිටී. අත්‍යවශ්‍ය සමාජ සහ ආයෝජන වියදම් සඳහා අවකාශය සලසා දෙමින්, රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා 2020 වසරේ දී රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමට අඛණ්ඩ ව ප්‍රයත්න දැරිය යුතු වේ. මධ්‍යකාලීන ව නව රාජ්‍ය මූල්‍ය නීති රාමුවක් සහ ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීම, රාජ්‍ය ණය මට්ටමේ තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා උපකාරී වනු ඇත. රාජ්‍ය මූල්‍ය අවදානම් අඩු කර ගැනීම සඳහා විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය අංශය සතු ව්‍යවසායයන්හි ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම අත්‍යවශ්‍ය වේ.” 

“ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත මත පදනම් වූ මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගත යුතු වේ. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් පවත්වා ගැනීම උදෙසා නව මහ බැංකු පනත ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇත. වෙළෙඳපොළ පීඩනයන් පවතින අවස්ථාවල දී විනිමය අනුපාතිකයේ නම්‍යශීලිත්වය පවත්වා ගැනීමට ඉඩ සලසමින් කම්පනයන්ට එරෙහි ව ආර්ථිකය සුරක්ෂිත කිරීම සඳහා විදේශ සංචිත ශක්තිමත් ව පවත්වා ගැනීමට ප්‍රයත්න දැරිය යුතු වේ.”

“මුදල් විශුද්ධිකරණය වැළැක්වීම ශක්තිමත් කිරීම සහ  ත්‍රස්තවාදී ක්‍රියා මූල්‍යනය කිරීමට එරෙහි ව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කර ගෙන ඇත. මූල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය අනුගත කිරීම, සාර්ව විචක්ෂණශීලී ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම හා අවදානම් තත්ත්වයන් හඳුනා ගැනීමේ රාමුව ඉහළ නැංවීම තුළින් මූල්‍ය ස්ථායිතාව පවත්වා ගැනීමට හැකි වනු ඇත.”

“තරගකාරීත්වය ශක්තිමත් කිරීමට සහ ශක්තිමත් සාර්ව සහභාගීත්වයකින් යුතු ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී තවදුරටත් ප්‍රගතියක් අත්‍යවශ්‍ය වේ. ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ තීරු බදු නො වන අනෙකුත් බදු ක්‍රමයෙන් ඉවත් කිරීම මගින් රාජ්‍ය ආදායම කෙරෙහි ඇති විය හැකි බලපෑම හඳුනා ගනිමින් වෙළෙඳාම ලිහිල් කිරීම, පාලන ක්‍රමය සහ දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, කාන්තාවන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම, දේශගුණික විපර්යාසයන් නිසා වන වෙනස්කම්වලට මුහුණ දීමේ හැකියාව ඇති වාතාවරණයක් ගොඩනැගීම සහ සමාජ ආරක්ෂණය වැඩිදියුණු කිරීම යනාදී කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රයත්නයන් දැරිය යුතු ය.”

Published Date: 

Saturday, November 2, 2019