ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුවෙහි 32 වන වාර්ෂික සමුළුව - 2019, කොළඹ ශ්‍රී ලංකාව

ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුවෙහි 32 වන වාර්ෂික සමුළුව 2019 ඔක්තෝම්බර් මස 28 සිට 30 දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත් වූ අතර එහි සත්කාරකත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දරණ ලදි. වඩා හොඳ ණය පූරකකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 1987 දී මෙම ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුව ස්ථාපනය කරන ලදි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා‍ ආසියාවේ ස්ථාපිත විශාලතම සංවිධානය මෙය වන අතර රටවල් 11 ක සාමාජික ආයතන 16 කින් මෙය සමන්විත වේ. ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුවෙහි වර්තමාන සාමාජික රටවල් අතරට ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, මොන්ගෝලියාව, නේපාලය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිවානය සහ තායිලන්තය ඇතුළත් වේ.

ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුවෙහි 32 වන වාර්ෂික සමුළුවෙහි තේමා පාඨය වූයේ “ණය පූරකකරණය : තිරසාර සංවර්ධනයක් උදෙසා” යන්නයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සමුළුවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය එතුමා විසින් පවත්වන ලදි. ණය පූරකකරණ ආයතන එකමුතුවෙහි ඉදිරි ක්‍රියාමාර්ග සඳහා පෙර දැක්මක් සකස් කිරීමට සහ වර්තමාන ණය පූරකකරණ විෂය පථය සහ නව ප්‍රවණතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සමුළුවට සමගාමීව ආසියානු ණය පූරකකරණ ආයතනවල ප්‍රධානීන්ගේ හමුවක් පැවැත්විණි.

මෙම සමුළුව දින දෙකක තාක්ෂණික සැසිවලින් සමන්විත වූ අතර එහිදී ණය ඇප ආවරණ පද්ධතීන් සඳහා ඩිජිටල්කරණයේ බලපෑම, ණය පූරකකරණයන් හි නවෝත්පාදනයන් සහ තිරසාර මූල්‍ය තුළින් මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීම යන මාතෘකා පිළිබඳව පිළිවෙලින් ජොසේ ෆර්නෑන්ඩු ෆිගියිරෙඩෝ මහතා - සභාපති, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා වන කෘෂිරක්ෂණ සහ අන්‍යෝන්‍ය ණය ඇප ආවරණ සංගමය - පෘතුගාලය, ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා - හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ආචාර්ය අනිල් පෙරේ‍රා මහතා - අතිරේක අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුව, විසින් ආරාධිත දේශනයන් පවත්වන ලදි.

ණය පූරකකරණය පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා කළ මෙම සමුළුව සඳහා විදේශීය නියෝජිතයන්ද ඇතුළුව 90 ක පමණ නියෝජිත පිරිසක් සහභාගී විය. තවද මෙම සමුළුව මඟින් සාමාජිකයන් අතර සහසම්බන්ධතාවයන් වර්ධනය කරන අතරම රට තුල ආනාගත තිරසාර සංවර්ධනය සඳහා දායක වන ධනාත්මක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට ද අවස්ථාව සැලසුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, November 6, 2019