ශ්‍රී ලංකා මහ බැංකුව "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්" ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්” ප්‍රකාශනය අද දින විද්‍යුත් මාධ්‍යයෙන් එළි දැක්වීය. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම බාගත කළ හැකි ය.

“මෑතකාලීන ආර්ථික ප්‍රවණතා” ප්‍රකාශනයෙහි අන්තර්ගත වන පරිදි 2019 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සමස්ත නිරීක්ෂණය පහත දැක්වේ.

2019 වසරේ පළමු භාගයේ දී, පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරවල බලපෑම ද ඇතුළු ව, මූලික වශයෙන් දේශීය ව පැන නැගුණ අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකා ආර්ථිකය මන්දගාමී වර්ධනයක් වාර්තා කළේ ය. ඒ අනුව, 2019 වසරේ පළමු භාගයේ දී ආර්ථිකය සියයට 2.6ක පහළ වර්ධන වේගයක් වාර්තා කළ අතර, 2018 වර්ෂයේ අනුරූප කාල පරිච්ඡේදයේ දී ආර්ථික වර්ධන වේගය සියයට 3.9ක් විය. ආර්ථිකයේ මන්දගාමී වර්ධනයට සමගාමී ව 2019 පළමු භාගය තුළ දී විරැකියා අනුපාතිකය ද ඉහළ ගියේ ය.

සැපයුම් අංශයේ මතු වූ තත්ත්ව හේතුවෙන් වරින් වර විචලනයන් පැවතිය ද, වර්ෂයේ මේ දක්වා කාලය තුළ උද්ධමනය අපේක්ෂිත පරාසය තුළ අඛණ්ඩ ව පැවතුණි. පාරිභෝගික මිල දර්ශකය තුළ නිවාස කුලී සඳහා යම් කාල සීමාවකට වරක් සිදු කළ ගැළපීම හේතුවෙන් මූලික උද්ධමනය 2019 වසරේ ජනවාරි මාසයේ දී වැඩි වුව ද එහි බලපෑම 2020 ජනවාරි මාසය වන විට පහ ව යනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය වෙත කඩිනමින් යොමු වෙමින් සිටින අතර, උද්ධමනය මැද තනි අගයක මට්ටමේ ස්ථායී ව පවත්වා ගැනීමේ අරමුණින් වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුවක් යටතේ, ඉදිරි දැක්මක් සහිත ව මුදල් ප්‍රතිපත්තිය අඛණ්ඩ ව ක්‍රියාත්මක කළේ ය. මනා ව පාලනය වූ උද්ධමනය සහ උද්ධමන අපේක්ෂා මධ්‍යයේ මන්දගාමී ආර්ථික වර්ධනය, මුදල් හා ණය වර්ධනයේ අඛණ්ඩ පහළ යෑම සහ ගෝලීය වශයෙන් මුදල් ප්‍රතිපත්තිය ලිහිල්වීම සලකා බලමින් 2019 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් කරා යොමු විය. කෙසේ වුව ද, ඉදිරියේ දී සිදු කිරීමට නියමිත වැටුප් ඉහළ දැමීම හේතුවෙන් මුදල් ප්‍රතිපත්තිය සඳහා වන ඉදිරි මාර්ගෝපදේශ පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය.

මුදල් ප්‍රතිපත්තිය ලිහිල්කරණය හමුවේ වුව ද, නාමික හා මූර්ත වෙළෙඳපොළ පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්ප්‍රේෂණය කඩිනම් කිරීම සඳහා මූල්‍ය ආයතනවල තැන්පතු පොලී අනුපාතික මත උපරිම සීමා පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු විය. තැන්පතු පොලී අනුපාතික සහ අරමුදල් පිරිවැය අඩුවීමත් සමඟ, මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකුවල තැන්පතු පොලී අනුපාතික මත පනවා තිබූ උපරිම සීමා සැප්තැම්බර් මාසයේ දී ඉවත් කළ අතර, ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සඳහා ණය අනුපාතික මත උපරිම සීමා පනවන ලදී. මේ අතර, මූල්‍ය අංශය ශක්තිමත් ව පැවති අතර, දුෂ්කරතාවයට පත් මුදල් සමාගම් කිහිපයක ගැටලු නිරාකරණය කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලදී.

පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරවලින් පසු ව සංචාරක අංශය පසුබෑමකට ලක්වීම හමුවේ විදේශීය අංශය කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කෙරෙමින් ශක්තිමත් විය. ආනයන වියදම පහළ යෑම සහ අපනයන ආදායම ඉහළ යෑම හේතුවෙන් 2019 වසරේ පළමු මාස අට තුළ දී වෙළෙඳ හිඟය 2018 වසරේ අනුරූප කාල පරිච්ඡේදය සමඟ සැසඳීමේ දී සැලකිය යුතු ලෙස අඩු විය. වෙළෙඳ හිඟය අඩු වීම සහ සේවා ගිණුම වෙත වූ ඉහළ ලැබීම් වසරේ පළමු කාර්තුවේ දී ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට උපකාරී වුව ද, වසරේ දෙවන කාර්තුවේ දී සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස අඩු වීම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මන්දගාමී වීම හේතුවෙන් වසරේ පළමු භාගයේ දී ජංගම ගිණුමේ සුළු හිඟයක් වාර්තා විය.

මේ අතර, ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම හේතුවෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් විය. මෙම ප්‍රවණතා හමුවේ දළ නිල සංචිත 2018 වසර අවසානයේ පැවති එක්සත් ජනපද ඩොලර් බිලියන 6.9 සිට 2019 වසරේ සැප්තැම්බර් අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6 දක්වා ඉහළ ගිය අතර වසරේ මේ දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව අතිප්‍රමාණය වී ඇත.

රාජ්‍ය මූල්‍ය අංශය සැලකූ විට, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව පවත්වා ගෙන යෑම සඳහා රජයේ අඛණ්ඩ ප්‍රයත්න හමුවේ වුව ද, ප්‍රධාන රාජ්‍ය මූල්‍ය දර්ශක මගින් පිළිබිඹු වන පරිදි රජයේ අයවැය කටයුතු 2019 වසරේ පළමු මාස හත තුළ දී දුර්වල විය. පෞද්ගලික වාහන ආනයනය සීමා කිරීම සඳහා පනවනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම, පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරවලින් පසු ආර්ථික ක්‍රියාකාරකම්වල සිදු වූ පහළ යෑම සහ 2019 අයවැය මගින් ප්‍රකාශයට පත් කරන ලද ඇතැම් ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සිදු වූ ප්‍රමාදය හේතුවෙන් මෙම කාලය තුළ දී රජයේ ආදායම අඩු විය. එසේ වුව ද, නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආදායම් බදු රැස්කිරීමෙහි වර්ධනයක් පෙන්නුම් කෙරිණි. රාජ්‍ය ආදායමේ පහළ යෑම සහ රාජ්‍ය වියදම් ඉහළ යෑම සමඟ 2019 වසරේ පළමු මාස හත තුළ දී සමස්ත අයවැය හිඟය ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්යෙපාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස 2018 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වාර්තා කළ සියයට 3.2 සිට සියයට 4.4 දක්වා පිරිහීමකට ලක් වූ අතර, රජයේ නිර්-ඉතුරුම් පිළිබිඹු කෙරෙන වර්තන ගිණුමේ හිඟය පුළුල් විය. රාජ්‍ය ආදායම සහ පොලී නො වන වියදම් අතර පරතරය දැක්වෙන ප්‍රාථමික ශේෂය, 2017 සහ 2018 වසරවල දී වාර්තා කළ අතිරික්ත තත්ත්වය වෙනස් කරමින් 2019 වසරේ පළමු මාස හත තුළ දී හිඟයක් වාර්තා කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය වන රජයේ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩ ව ක්‍රියාත්මක වූ අතර එහි හය වන සමාලෝචනය සාර්ථක ව නිමා කිරීමත් සමඟ එම පහසුකමෙහි හත් වන වාරිකය 2019 නොවැම්බර් මාසය මුල දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආර්ථිකයේ කෙටිකාලීන මෙන් ම මැදිකාලීන ඉදිරි දැක්ම, මැතිවරණ කාලයේ දී හා ඉන් පසු ව පවත්වා‍ ගෙන යනු ලබන ප්‍රතිපත්ති විනය අනුව බොහෝ දුරට තීරණය වනු ඇත.

සිංහල මාධ්‍ය ප්‍රකාශනය සඳහා වෙබ් යොමුව: https://www.cbsl.gov.lk/si/ප්‍රකාශන/මෑතකාලීන-ආර්ථික-ප්‍රවණතා/මෑතකාලීන-ආර්ථික-ප්‍රවණතා-2019-සුවිශේෂ-සිදුවීම්-සහ-2020-අපේක්ෂාවන්

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, November 4, 2019