Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

පෙර දැක්ම 2021: 2021 සහ ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති

2020 වසර අප බොහෝ දෙනෙකු හැකි ඉක්මනින් අමතක කර දැමීමට කැමති වසරක් වනුයේ ප්‍රධාන වශයෙන් කොරෝනා වසංගතය මගින් ලොව පුරා මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි ඇති කරන ලද භයානක බලපෑම් හේතුවෙනි. අප දැනට අත්දකින මෙම කොවිඩ්-19 වසංගතය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ අන් සෑම අභියෝගයකටම වඩා දරුණුතම ගෝලීය අර්බුදය යි. පසුගිය මාස දහයක පමණ කාලය තුළ අපට අසන්නට ලැබුණේ ඛේදවාචක, මරණ හා බිය ගෙනෙන තොරතුරු ය. අප ජීවිතවලට අතිමහත් කම්පන ගෙන දුන් අවස්ථා තිබූ අතර, නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට තවත් කොපමණ කලක් ගත වේදැයි අපි නොදනිමු. කෙසේ වෙතත්, අපට නව වසරක් උදා වී ඇති අතර, තත්ත්වය තරමක් ඉක්මනින් යහපත් අතට හැරෙනු ඇති බවට අපේක්ෂා මෙන්ම සැබෑ සාධක ද පෙනෙන්නට ඇත. 2020 වසරේ අප්‍රසන්න සිහිවටන පසෙක ලා ඉදිරියට යන අප, අනාගතය පිළිබඳව ධනාත්මකව සිතිය යුතු අතර, ඛේදවාචක පිලිබඳ අනාවැකි පළකරන්නන් කුමක් කීව ද සුභදායක හා අපේක්ෂා සහගත බවක් අප වටා ජනිත කිරීම වැදගත් ය.

කො.පා.මි.ද මත පදනම් වූ උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 10.3හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 9.2 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.6හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 2.0 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස 2020 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩව තෙවන මාසයටත් සියයට 4.6හි නොවෙනස්ව පැවතුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 70 වන සංවත්සරය නිමිත්තෙන් සංසරණය සඳහා නොවන සමරු කාසියක් නිකුත් කරයි

1950 අගෝස්තු මාසයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදෙසා සුවිශේෂී හා වටිනා දායකත්වයක් ලබා දෙමින් වසර 70 ක් සම්පූර්ණ කර ඇත. සිය 70 වන සංවත්සරය සංකේතවත් කරමින්, පහත සඳහන් ප්‍රධාන ලක්‍ෂණ සහිත මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා නොවන සමරු කාසියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය - 2019

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2018 වසරේ වාර්තා කළ 0.811 ක අගයට සාපේක්ෂ ව 2019 වසරේ දී 0.802ක අගයක් වාර්තා කළේ ය. මේ සඳහා 'ආර්ථික සහ ව්‍යාපාර පරිසරය' සහ 'සමාජ-ආර්ථික යටිතල පහසුකම්' යන උපදර්ශකයන්හි පහළ යෑම හේතු වී ඇති අතර ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකය මෙම වසර තුළ දී වැඩිදියුණු වී ඇත.

පෙර දැක්ම - 2021 සහ ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීම

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් 2021 සහ ඉදිරියට මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීම 2021 ජනවාරි මස 04 වැනි සඳුදා සිදු කිරීමට නියමිත ව ඇත.

දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පෙර දැක්ම එළිදැක්වීම අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අතර මෙම වීඩියෝව 2021 ජනවාරි 04 වැනි සඳුදා පෙරවරු 11.00ට ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය හරහා නැරඹිය හැක.

රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව පියවර ගනී

විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත. මෙම ක්‍රියාමාර්ගත් අත්යවශ්ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය 2020 නොවැම්බර් මස නිරීක්ෂණය කළ එ.ජ. ඩොලරයට රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අතිප්රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

නිල සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතින බව මහ බැංකුව නැවත අවධාරණය කරයි. දැනට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.6ක් වේ. සංචිත මට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමඟ පවත්වන සාකච්ඡා ද සාර්ථකව අවසාන අදියරකට පැමිණෙමින් තිබේ. මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයන් විදේශ විනිමය ලැබීම් ඉහළ යෑමට හේතු වන අතර, එමගින් ඉදිරි කාලයේදී ද විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ ණය වගකීම් නියමිත පරිදි පියවීම සඳහා ද උපකාරී වනු ඇත.

Pages