විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 නොවැම්බර්

වෙළඳ ගිණුමේ හිඟය, 2022 වසරේ නොවැම්බර් මාසයේ දී, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද, වසරකට පෙර  පැවති අගයට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පැවතිණි. ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන සඳහා වූ ගෝලීය ඉල්ලුම පහළ යෑම හේතුවෙන්, 2022 වසරේ නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගියේය. මේ අතර, වෙළඳ භාණ්ඩ ආනයන වියදම ද, 2022 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කළද, 2022 වසරේ නොවැම්බර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව නවවන මාසයටත් පහළ ගියේය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව යථා තත්ත්වයට පත් වෙමින් පවතින අතර, 2022 වසරේ නොවැම්බර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මෙන්ම පෙර මාසයට වඩා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා විය. 2022 වසරේ නොවැම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් පෙර මාසයට වඩා වැඩි වූ අතර සංචාරක පැමිණීම්වල සියයට 40කට වඩා වැඩි වර්ධනය එයට දායක විය. 2022 වසරේ නොවැම්බර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා විය. යම් අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළට විදේශ විනිමය අඛණ්ඩව ලබා දුන් අතර, එම නිසා දළ නිල සංචිත ගොඩනැංවීම සීමා වී පවතී. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 363ක මට්ටමක පැවතුණි.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, January 9, 2023