2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති

නිදහසින් පසු උද්ගත වූ වඩාත්ම අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් කෙරෙහි ශ්‍රී ලංකාව 2022 වසරේදී මුහුණ දුන්නේය. 2019 වසරේදී පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාර, 2020 වසරේදී කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම සහ එමගින් 2021 වසරේදී ද ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සිදු වූ බලපෑම, අහිතකර ගෙවුම් ශේෂ පීඩන මධ්‍යයේ 2022 වසරේදී සිදු වූ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදය මෙන්ම පෙර නොවූ පරිදි ප්‍රතිපත්ති වෙනස්කිරීම් මගින් වූ බලපෑම ඇතුළු මෑත වසරවලදී පැවති අඛණ්ඩ ආර්ථික අභියෝග මගින් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට අපේක්ෂා නොකළ අන්දමේ දුෂ්කරතා ඇති කරමින් ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් සිදු කරන ලදී. පුද්ගලයින්ගේ ජීවනෝපායන් අහිමි වූ අතර මූර්ත ආදායම බොහෝසෙයින් පහළ ගියේය. මෙම ආර්ථික අභියෝග මෙන්ම කාලානුරූපී නොවන ප්‍රතිපත්තිමය තීරණ මගින් දශක ගණනාවක් මුළුල්ලේ ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර තුළ පැවති ව්‍යුහාත්මක ගැටලු තවදුරටත් උග්‍ර කළ අතර, එමගින් සාර්ව ආර්ථික සමතුලිතතාවය බිඳ වැටීම හේතුවෙන් රටෙහි විවිධ අංශවල පසුබෑමක් ශීඝ්‍රයෙන් ඇති විය.

සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ස්ථාපිත කිරීම අරමුණු කරගත් අසීරු, එහෙත් නොවැළැක්විය හැකි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග 2022 වසර තුළ ක්‍රියාත්මක කිරීමට රජයට සහ මහ බැංකුවට සිදු විය. උද්ධමන පීඩන අයහපත් වීම වැළැක්වීමට සහ කෙටි හා මැදි කාලීනව අහිතකර උද්ධමන අපේක්ෂා පාලනය කිරීම සඳහා පොලී අනුපාතික පෙර නොවූ අන්දමින් ඉහළ නංවමින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන ලදී. දැඩි විදේශ විනිමය හිඟය මධ්‍යයේ තෝරාගත් විදේශීය ණය නැවත ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කරන ලද අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි අපේක්ෂිත සහාය ඇතිව රාජ්‍ය ණය ඒකාබද්ධ කිරීමට ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. වර්ධනය වෙමින් පැවති ගෙවුම් ශේෂ පීඩන පාලනය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සඳහා ඇතැම් ණය සේවාකරණ අත්හිටුවීම හේතුවෙන් රඳවාගත් විදේශ විනිමය මෙන්ම මිත්‍ර රටවලින් සහ බහුපාර්ශ්වික මූලාශ්‍රවලින් ලද විදේශ විනිමය ලැබීම් උපකාරී විය. අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමුඛත්වය ලබා දීම ඇතුළු තවත් ක්‍රියාමාර්ග කිහිපයක් මගින් විදේශ විනිමය මෙරටින් ගලායෑම තවදුරටත් පාලනය කරන ලදී. මෙම ක්‍රියාමාර්ග මගින් ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ඖෂධ, සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා විදේශ විනිමය ලබා ගැනීම සහතික කළ අතර, එමගින් සමාජ ආර්ථික නොසන්සුන්තාවය බොහෝදුරට සමනය විය. මේ අතර, 2022 වසරේ මුල් කාලයේදී විනිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමෙන් අනතුරුව, වෙළඳපොළ සහභාගීවන්නන් සමග උපදේශන ක්‍රියාවලියක් සිදු කිරීම මගින් විනිමය අනුපාතිකයේ ස්ථායීතාව නැවත ස්ථාපනය කරන ලදී. විදේශ විනිමය රට තුළට ගෙන්වා ගැනීම සහ එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතා සමග දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව ඉහළ නැංවීම සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග ආරම්භ කරන ලද අතර, එමගින් අවිධිමත් වෙළඳපොළ ක්‍රියාකාරකම් අධෛර්යමත් කළේය. මේ අතර, මූල්‍ය පද්ධති ස්ථායීතාව ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් ගනු ලැබූ අතර, එමගින් සමස්ත සමාජ ආර්ථික ව්‍යුහය මත ඇති විය හැකි දිගුකාලීන බලපෑම් වළක්වාගත හැකි විය. තවද, ආර්ථිකය තිරසාර අන්දමින් යථා තත්ත්වයට පත් වීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වන රාජ්‍ය මූල්‍ය කටයුතුවල මෙන්ම ආර්ථිකයේ අනෙකුත් අංශවල ව්‍යුහාත්මක දුර්වලතා නිවැරදි කිරීම සඳහා රජය දිගුකාලීන ප්‍රතිසංස්කරණ සිදු කිරීම ආරම්භ කර ඇත. 

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Wednesday, January 4, 2023