ජා.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගියේය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 65.0හි සිට 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 59.2 දක්වා තවදුරටත් පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 59.3 දක්වා තවදුරටත් පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 60.4හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 59.0 දක්වා පහළ ගියේය.

ජා.පා.මි. දර්ශකයේ මාසික වෙනස, 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 0.01ක් ලෙස වාර්තා විය. මේ  සඳහා, ආහාර කාණ්ඩයේ අයිතමවල මිලෙහි සිදු වූ සියයට 0.20ක මාසික පහළ යෑම, ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල සිදු වූ සියයට 0.21ක  මිල  ඉහළ යෑම මගින් මුළුමණින්ම පාහේ තුලනය වීම හේතුවිය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, ලොකු ළූණු, කරවල, සීනි, එළවළු, සහ සහල් මිල ගණන් පහළ ගියේය. කෙසේ වුවද, 2022 දෙසැම්බර් මාසය තුළ දී පොල්, කිරිපිටි, සහ පලතුරු මිල ගණන් ඉහළ යෑමක් වාර්තා විය. මේ අතර, 2022 දෙසැම්බර් මාසයේ දී ආහාර නොවන කාණ්ඩය තුළ, රෙදිපිළි හා පාවහන්, සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ ගියේය. 

තවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 46.7හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 50.4 දක්වා ඉහළ ගියේය. 

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 60.1හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 57.5 දක්වා පහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 40.0හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 43.9 දක්වා ඉහළ ගියේය. 

 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, January 23, 2023