වෙළෙඳ හිඟයේ සැලකිය යුතු අඩු වීම සහ ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ අඛණ්ඩ ලැබීම් හේතුවෙන් 2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේ ය. 2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී වෙළෙඳ හිඟය වාර්ෂික පදනම මත සැලකිය යුතු ලෙස අඩු වීම සඳහා අපනයන ආදායම අඛණ්ඩ ව සිව් වැනි මාසයට ද ඉලක්කම් දෙකක අගයකින් වර්ධනය වී ඉහළ මට්ටමක පැවතීම සහ ආනයන වියදම අඩු වීම හේතු විය. කෙ සේ වුව ද, සංචාරක ඉපැයීම් මධ්‍යස්ථ ලෙස වර්ධනය වූ අතර මැද පෙරදිග කලාපයේ පවතින අහිතකර ආර්ථික හා භූ දේශපාලනික තත්ත්ව හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ තවදුරටත් අඩු විය. ඔක්තෝබර් මාසය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශ ආයෝජන සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ විදේශ ආයෝජන ඉහළ යෑම මධ්‍යයේ ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් අඛණ්ඩ ව පැවැතුණි. මෙම වර්ධන පෙන්නුම් කරමින් 2017 වසරේ ඔක්තෝබර් මාසය අවසාන වන විට ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය එක්සත් ජනපද ඩොලර් 2.0ක අතිරික්තයක් වාර්තා කළේ ය.















2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2017 දෙසැම්බර් 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පොලීසිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වේ.