2018 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2018 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය මන්දගාමීව පැවතුණි. ආනයන වියදම්හි සිදු වූ වර්ධනය අ‍භිබවා අපනයන ආදායම් ඉහළ යෑම හේතුවෙන් මාසය තුළදී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු විය. මේ අතර, සංචාරක ඉපැයීම්හි සිදු වූ සුළු වැඩි වීම හා විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සිදු වූ අඩු වීමත් සමඟ 2018 අගෝස්තු මාසයේ දී ජංගම ගිණුම වෙත වූ අනෙකුත් ලැබීම් තවදුරටත් මධ්‍යස්ථ මට්ටමක පැවතුණි. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ඉවත් කරගැනීම සහ අඛණ්ඩ ණය සේවාකරණ ගෙවීම් හේතුවෙන් මාසය තුළදී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශුද්ධ ගෙවීම් ප්‍රමාණයක් වාර්තා කළේය. මෙම තත්ත්වයන් සහ සමස්තයක් ලෙස එ.ජ. ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් විනිමය අනුපාතිකය මත අවප්‍රමාණය වීමේ පීඩනයක් අඛණ්ඩව පැවති අතර, විනිමය අනුපාතිකයෙහි අනිසි අධික විචලනයන් අවම කිරීම සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත මැදිහත් වීමට මහ බැංකුවට සිදු විය. 2018 අගෝස්තු මස අවසානය වන විට දළ නිල සංචිත එ.ජ.ඩොලර් බිලියන 8.6 ක් විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, October 29, 2018