ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමක් ලබාගන්නා ලදී

එක්සත් ජනපද ඩොලර් හෝ ජපන් යෙන් හෝ යූරෝ හෝ ඒවායේ සංයෝජනයකින් නාමනය කරන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 1000 ක ප්‍රමාණයක් දක්වා වූ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2018 මාර්තු මාසයේ දී දේශීය සහ විදේශීය බැංකු සහ ආයෝජන ආයතනයන්ගෙන් යෝජනාවන් කැඳවන ලදී.

ඒ අනුව, දේශීය සහ විදේශීය බැංකු  සහ ආයෝජන ආයතනයන්ගෙන් යෝජනා හතරක් ලැබී තිබුණි.  අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද මෙහෙයුම් කමිටුව සහ තාක්ෂණික ඇගයීම් කමිටුව මඟින් සිදුකරන ලද ඇගයීම් සහ යෝජනා ඉදිරිපත්කරන ලද  ආයතනයන් සමග පැවති සාකච්ඡා මත පදනම්ව අඩුම පිරිවැයක් සහ වැඩිම පරිණත කාලයක් සහිත යෝජනාව ඉදිරිපත් කරන ලද චීන සංවර්ධන බැංකුව තෝරා ගන්නා ලදී.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රි ලංකා රජය විසින් චීන සංවර්ධන බැංකුවෙන් වසර අටක කල්පිරීමේ කාලයක් සහිතව එක්සත් ජනපද ඩොලර් මිලියන 1000 ක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම ලබාගන්නා ලදී.  පොලී පිරිවැය ඉතා තරඟකාරී වූ අතර එය වසර තුනක සහන කාලයක් සහිත හය මාසික එක්සත් ජනපද ඩොලර් ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතය (LIBOR) හා සම්බන්ධව පවතී.  සහන කාලය අවසන් වූ පසු සමාන අර්ධ වාර්ෂික වාරික වලින් නැවත ගෙවීම සිදු කළ යුතු ය. මෙම මුල්‍ය පහසුකම ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත එක්සත් ජනපද ඩොලර් මිලියන 1000 කින් වැඩි විය.

Published Date: 

Wednesday, October 17, 2018