Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 ජූනි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 ජූනි මාසයේ දී 56.1ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2017 මැයි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 1.8කින් පහළ යන ලදී. අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ යම් පමණකට වූ බලපෑම මත නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ පහළ යෑම 2017 ජූනි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් මැයි මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වීමට හේතු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගැනුම් තොග මට්ටම ඉහළ ගිය අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය සුළු වශයෙන් පහළ යන ලදී. කෙ සේ වුව ද, පසු ගිය මාසයේ දී වාර්තා කළ පහත වැටීමට සාපේක්ෂ ව සේවා නියුක්ති උප දර්ශකය මෙම මාසය තුළ දී ඉහළ යෑමක් පෙන්නුම් කරන ලදී. තව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

කොළඹ දී පවත්වන ලද දකුණු අාසියාතික සංගමයේ (සාර්ක්) මූල්‍ය ජාලයේ කණ්ඩායම් රැස්වීම සහ සාර්ක් මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය

සාර්ක් මූල්‍ය ජාලයේ 34 වැනි කණ්ඩායම් රැස්වීම සහ සාර්ක් මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් යුතු ව 2017 ජූලි මස 12 වැනි දින කොළඹ දී පවත්වන ලදි. සාර්ක් මූල්‍ය ජාලයේ 34 වැනි කණ්ඩායම් රැස්වීම සඳහා සාර්ක් කලාපයේ මහ බැංකු අධිපතිවරු, මුදල් අමාත්‍යාංශ ලේකම්වරු සහ සාර්ක් කලාපීය මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශවල නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. 

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව 2017 ජූලි 17 සිට 21 දක්වා කොළඹ දී

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව සාමාජික රටවල් 41ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජනය සහිත දේශීය සහ විදේශීය ආරාධිතයන් 450කගේ පමණ සහභාගීත්වයෙන් 2017 ජූලි මස 17 සිට 21 දක්වා කොළඹ දී පැවැත්වේ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වේ. 

'සිලෝන් ටී' 150 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සමරු කාසියක් නිකුත් කරයි

'සිලෝන් ටී' ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් සහ දිගු කාලීන අපනයන වෙළෙඳ භාණ්ඩයක් ලෙස ජාතික ආර්ථිකයට සිදු කරන ලද දායකත්වය සලකා එහි 150 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රුපියල් 10 ක් වන සමරු කාසියක් නිකුත් කරන ලදී. 

මෙහි පළමු කාසි කාණ්ඩය 2017 ජූලි මස12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති උත්සවයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී. 

මෙම සමරු කාසිය 2017 ජූලි මස 13 වැනි දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන අතර සංසරණයේ පවතින අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි අතරෙහි ගෙවීම් සඳහා භාවිත කළ හැකි වේ. 

සම්පූර්ණ ලිපිය

2017 අප්‍රේල් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2017 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. 2017 අප්‍රේල් මාසයේ දී අපනයන ආදායම වර්ධනය වුව ද, ආනයන වියදම වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය ද පුළුල් විය. 2017 අප්‍රේල් මාසයේ දී සංචාරක ඉපැයීම් ඉහළ ගිය ද, පුළුල් වූ වෙළෙඳ හිඟය සමඟ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද අඩු වීම හේතුවෙන් විදේශීය ජංගම ගිණුම මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. කෙ සේ වෙතත්, කොළඹ කොටස් හුවමාරුව සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ විදේශ විනිමය ලැබීම් හේතුවෙන් ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම සවිමත් විය.   

සම්පූර්ණ ලිපිය

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් අාඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, 2017 ජූලි මස 6 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරු‍වෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2017 ජූලි මස 6 වැනි දින පස්වරු 4.30 සිට බල පැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කරන ලදී.

මෙම නියාමන ක්‍රියාමාර්ගය වෙළෙඳපොළ කටයුතු කෙරෙහි අගතිදායක නො වන බවට සහතික වීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ. තව ද, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නො වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි පරිදි ගනු ලැබේ. 

Pages

මාධ්‍ය නිවේදන