මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2018 සුවිශේෂ සිදුවීම් සහ 2019 අපේක්ෂාවන්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය අර්ධ වාර්ෂික ප්‍රකාශනය වන “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2018 සුවිශේෂ සිදුවීම් සහ 2019 අපේක්ෂාවන්” අද දින එළි දක්වන ලදී.

මෙම ප්‍රකාශනයේ අන්තර්ගත වන පරිදි 2018 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ. 

ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය වෙළෙඳපොළ තුළ සිදු වන වෙනස්වීම් හේතුවෙන් ඇති වූ නව අභියෝගවලට මුහුණ දුන් අතර, එය වසරේ පළමු කාර්තුව දක්වා ආර්ථිකයේ දැකිය හැකි වූ  මනා ස්ථායීකරණය කෙරෙහි බාධා කළේ ය. 2017 වසරේ දී සියයට 3.3 ක සාපේක්ෂ ව අඩු වර්ධනයක් වාර්තා කිරීමෙන් අනතුරු ව 2018 වසරේ පළමු භාගය තුළ දී ආර්ථිකය සියයට 3.6 ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. මෙම කාලය තුළ පැවති හිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් 2018 වසරේ පළමු භාගය තුළ දී කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩ ව යථා තත්ත්වයට පත් විය. ප්‍රධාන වශයෙන්, ඉදිකිරීම් සහ පතල් හා කැණීම් උප අංශවල දැකිය හැකි වූ මන්දගාමී ක්‍රියාකාරිත්වය හේතුවෙන් කාර්මික කටයුතුවල වර්ධනය අඩු විය. මූල්‍ය සේවා, තොග හා සිල්ලර වෙළෙඳාම සහ අනෙකුත් පෞද්ගලික සේවා කටයුතුවල වර්ධනය හේතුවෙන් සමස්තයක් ලෙස සේවා අංශයේ ක්‍රියාකාරකම්වල වර්ධනයක් දැකිය හැකි විය. මේ අතර, 2018 වසරේ පළමු භාගය තුළ දී සේවා වියුක්ති අනුපාතිකයේ ඉහළ යෑමක් දැකිය හැකි විය. ප්‍රධාන වශයෙන්, ආහාර මිල ගණන් විචලනය වීම සහ දේශීය වෙළෙඳපොළ තුළ ඛනිජ තෙල් මිල ගණන් හා අනෙකුත් පරිපාලිත මිල ගණන් ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික මිල උද්ධමනයේ තාවකාලික ඉහළ යෑමක් ඇතැම් මාසවල දී දැකිය හැකි වුව ද, 2018 වසරේ මේ දක්වා කාලය තුළ පාරිභෝගික මිල උද්ධමනය අඩු මට්ටමක පවතී. 

සම්පූර්ණ ලිපිය

 

 

Published Date: 

Tuesday, October 30, 2018