ශ්‍රී ලංකා රජය මඟින් සක්‍රීය වගකීම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ පිටතදී රුපියල් බිලියන 310ක් ණය වශයෙන් ලබා ගැනීම සඳහා වූ යෝජනාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී

“2018 අංක 8 දරන, සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ විධිවිධානයන්හි විශේෂිතව සඳහන් කර ඇති අරමුණු උදෙසා, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී, ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 310 නොඉක්මවූ මුදලක් ණයක් වශයෙන් ලබාගැනීමට” එම පනතේ 3 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසින්, 2018.10.26 වැනි දින යෝජනා සම්මත කරන ලදී.

දේශීය හා විදේශීය මුදල් වලින් නාමනය කරන ලද සිය නොපියවූ ණය වගකීම් පිළිබඳව, ශ්‍රී ලංකා රජය මනාව දැනුම්වත්වී ඇත. ඇතිවිය හැකි දේශීය හා විදේශීය කම්පනවල බලපෑම මධ්‍යයේ, විධිමත්ව හා ක්‍රමානුකුලව ණය සේවාකරණයේ යෙදෙමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීම සඳහා රටෙහි ණය කළඹ විචක්ෂණශීලීව කළමනාකරණය කිරීමට අවශ්‍ය නීතිමය රාමුව ආයතනගත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනිමින්, 2018 මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසින් සක්‍රීය වගකීම් කළමනාකරණ පනත නීතිගත කරන ලදී. 1949 අංක 58 දරණ මුදල් නීති පනත, දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත (417 වැනි පරිච්ඡේදය), ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත (420 වැනි පරිච්ඡේදය) හා 1957 අංක 29 දරණ විදේශ ණය පනත වැනි නීතිවලට අනුකූලව රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සඳහා, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී ණය ලබාගැනීමට අවශ්‍ය කරන නීතිමය රාමුව, සක්‍රීය වගකීම් කළමනාකරණ පනත මඟින් ශ්‍රී ලංකා රජයට සැපයෙනු ඇත.

 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, October 26, 2018