ඉඩම් මිල දර්ශකය - 2018 වසර පළමු භාගය

ශ්‍රී ලංකා මහ බැංකුව නිශ්චල දේපොළ අංශයෙහි ප්‍රවණතා අධීක්ෂණය කිරීමේ අරමුණින් දර්ශක කිහිපයක් සම්පාදනය කිරීම සහ විශ්ලේෂණය කිරීම සිදු කරයි. මේ අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉඩම් මිල දර්ශකය, 1998 වසර පදනම් වර්ෂය කර ගනිමින් 1998 සිට 2008 වසර දක්වා වාර්ෂිකව සහ 2009 සිට 2017 වසර දක්වා අර්ධ වාර්ෂිකව, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි ප්‍රදේශ 50ක ඉඩම් මිල ගණන් භාවිතා කරමින් ගණනය කර තිබේ. නිශ්චල දේපොළ අංශයෙහි මෑත කාලීන ප්‍රවණතා හේතුවෙන් ඉඩම් මිල අධීක්ෂණය කිරීමෙහි අවශ්‍යතාවය වර්ධනය වීමත් සමඟ, ඉඩම් මිල දර්ශකයේ භූගෝලීය ආවරණය කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ප්‍රදේශ 82 ක් දක්වා වැඩි කළ අතර එහි පදනම් වර්ෂය 1998 වසරේ සිට 2017 වසරේ පළමු භාගය දක්වා සංශෝධනය කරන ලදී. භූගෝලීය ආවරණය වැඩි කරන ලද මෙම ඉඩම් මිල දර්ශකය 2017 වසරේ සිට අර්ධ වාර්ෂිකව ලබා ගත හැක.

මෙම දර්ශකය ගණනය කිරීමේදී, ඉඩම් භාවිතය පිළිබඳ වන විවිධත්වය සැලකිල්ලට ගෙන නේවාසික, වාණිජ සහ කාර්මික යන ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරනු ලබන අතර එම අනු දර්ශක තුනෙහි සාමාන්‍යය ඇසුරෙන් සමස්ත ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලබයි. මෙම දර්ශක ගණනයේදී රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පර්චසයක මිල උපයෝගී කර ගනී.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, October 25, 2018