Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්" ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්” ප්‍රකාශනය අද දින විද්‍යුත් මාධ්‍යයෙන් එළි දැක්වීය. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම බාගත කළ හැකි ය.

“මෑතකාලීන ආර්ථික ප්‍රවණතා” ප්‍රකාශනයෙහි අන්තර්ගත වන පරිදි 2019 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සමස්ත නිරීක්ෂණය පහත දැක්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව දීර්ඝ කරන ලද විස්තීර්ණ ණය පහසුකමට අදාළ හයවන සමාලෝචනය සම්පූර්ණ කරයි

විස්තීර්ණ ණය පහසුකමට අදාළ අරමුදල්වල මීළඟ වාරිකය මුදා හැරීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව විසින් හයවන සමාලෝචනය සාර්ථක ව නිම කරන ලදී.

අවදානම්වලට මුහුණදීමට ඇති හැකියාව වර්ධනය කිරීම සහ ශක්තිමත් හා සාර්ව සහභාගීත්වයකින් යුතු ආර්ථික වර්ධනයනට සහය වීම සඳහා ප්‍රතිපත්ති විනය තිරසාර ව පවත්වා‍ ගැනීම අත්‍යවශ්‍ය වේ.

සමාජ සහ ආයෝජන වියදම් සඳහා අවශ්‍ය අවකාශය සලසා දෙමින් රාජ්‍ය ණය අඩු කිරීම සඳහා රාජ්‍ය ආදායම් රැස් කිරීම සාර්ථක ව සිදු කළ යුතු ව ඇත.

ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත්ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත්විය. ආයතනය යථා තත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනාගැනීම සඳහා අවස්ථා ගණනාවකදී ප්‍රයත්නයන් දැරුවද එම ප්‍රයත්නයන් තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත.

2019 සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 අගෝස්තු මාසයේ පැවති සියයට 3.4 හි සිට 2019 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේ ය. 2019 සැප්තැම්බර් මාසයේ දී, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් වන පිළිවෙලින් සියයට 4.9 සහ සියයට 5.1 මගින් පෙන්නුම් කළ පරිදි ආහාර හා ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. මීට අමතර ව, පෙර වසරේ අනුරූප මාසයේ පැවති අඩු පදනම් අගය ද මෙම ඉහළ යෑම සඳහා දායක විය.

මුල්‍ය කාර්ය සාධක බලකාය ශ්‍රී ලංකාව අළු ලේඛනයෙන් ඉවත් කරයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින්, “අළු ලේඛනය” ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරන ලදී.  2019 ඔක්තෝබර් 13 සිට 18 දක්වා පැරීසියේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේ දී මෙම තීරණය ගනු ලැබිණි. 

ජාත්‍යන්තර පොලිසිය කොළඹ ශාඛාව සමඟ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය ගිවිසුමකට අත්සන් තබයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2019 ඔක්තෝබර් මස 11 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ජාත්‍යන්තර පොලීසියේ කොළඹ ශාඛාව සමඟ ගිවිසුමකට එළැඹිණි. ජාත්‍යන්තර පොලීසියේ තොරතුරු පද්ධතිය වෙත සෘජුවම ප්‍රවිෂ්ට වීමේ අවකාශය ලබා ගැනීම මෙහි මූලික පරමාර්ථය විය.  

ජාත්‍යන්තර පොලීසියේ කොළඹ ශාඛාවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී. සෙනෙවිරත්න මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂ ඩී.එම්. රූපසිංහ මහතා විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. 

Pages